ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඉල්ලා අස්වුනේ 'දේශපාලන බලපෑම් නිසා'

පුවත්පතේ පාලනාධිකාරියට එල්ල වූ දේශපාලන බලපෑම් හේතුවෙන් කර්තෘ ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස පාලනාධිකාරිය තමන්ට දැනුම්දුන් බව දිනපතා ලක්බිම පුවත්පතේ හිටපු කර්තෘ සහ ජනමාධ්‍ය නිදහස සඳහා වූ ක්‍රියාකාරී කමිටුවේ ප්‍රධන සම්බන්ධීකාරක සමන් වගආරච්චි ප්‍රකාශ කරයි.

එම දැනුම්දීම ප්‍රකාර සිය අස්වීම පාලනාධිකාරියට භාර දුන් බවද සමන් වගආරච්චි සංදේශයට කියා සිටියේය.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වෙන්ව සිටි ජනමාධ්‍ය සංවිධාන එක් කොට ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය සහ ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් තමන් ගෙන ගිය අරගලය පුවත්පතේ පාලනාධිකාරියට බලපෑම් එල්ල වීමට ප්‍රධාන හේතුව බවද ඔහු සඳහන් කළේය.

"මාධ්‍ය නිදහස පිළිබඳව මේ සංවිධාන ආරම්භ කරන කොටම, මාව පත්තරෙන් ඉවත් කිරීමට බලෙය් සිටින සහ බලය නැති කණ්ඩායම් පාලනාධිකාරියට දැඩි බලපෑම් එල්ල කළා," යනුවෙන් ඔහු කියා සිටියේය.

"ඒකෙ උච්ඡතම අවස්ථාව පසුගිය දෙදින තුල ක්‍රියාත්මක වුනා; මගෙන් ඉල්ලා සිටියා මේ එන පීඩනය දරාගන්න බැහැ, ඒක හින්ද තීරණයක් ගන්න කියලා."

'මාධ්‍ය නිදහසේ සීමාව'

මාධ්‍ය නිදහස වෙනුවෙන් අරගලයක යෙදුනු නමුත් සිය අරගලය දියත් වූයේ ශ්‍රී ලංකාවේ "මාධ්‍ය නිදහසේ සීමාව හඳුනාගෙන" බවයි, ඔහු පවසන්නේ.

"මීට කලින් සමහර දේශපාලන අධිකාරිවලින් ප්‍රවෘත්ති වෙනස් කිරීම්, ගැලවීම් පවා සිදුවුණා. මම ඒ ගැන කිසිදෙයක් කියන්නේ නැතුව ඒ තීරණයට එකඟව වැඩ කළා. ඒක නෙවෙයි හේතුව, මාධ්‍ය සංවිධාන එකතු කරගෙන එක්සත් අරගලයකට යාම තමයි මේකට හේතුව," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳ, අයෝමා රාජපක්ෂ අවුරුදු පොළකදී භාණ්ඩ මිලදී ගන්නා ඡායාරූපයකට "හොර සල්ලි නෙමෙයිනේ?" යන උප සිරස්තලය පළ කිරීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය මාසයේ සමන් වගආරච්චිගෙන් ප්‍රශ්න කළේය.

එවන් සිරස්තලයක් පළ කළේ විශාල ලෙස සමාජය තුල සැරිසරන ව්‍යාජ මුදල් නෝට්ටු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් වන බවයි, එහිදී ඔහු සඳහන් කළේ.

එම සිරස්තලයද තමා පදවියෙන් ඉවත් කිරීම පිණිස බලපෑමක් කරන්නට ඇති බව ඔහුගේ විශ්වාසයයි.

"ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ බිරිඳගේ සිද්දියත් එකක්. ඊයේ පෙරේද සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ගැන පළකරපු ලිපියක් ගැන එතුමා තිලංග සුමතිපාල මහත්තයාගේ ගෙදරට ගිහිල්ලා කතා කරලා තිබුණා. ඒ වගේ සිදුවීම් සමුදායක එකතුවක් තමයි මේකට හේතුව."

'පරිපාලන ගැටලුවක්'

තවදුරටත් තමා පුවත්පත් කතුවරයකු නොවන බැවින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස පිළිබඳව නිර්භයව අදහස් ප්‍රකාශ කළ හැකි බවයි, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් වගආරච්චි පවසන්නේ.

"මෙතෙක් කල් කර්තෘවරයෙක් විදිහට මම ඒ ගැන රටට කිව්වේ නැහැ, දැන් මට කියන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසක් නැහැ," යනුවෙන්ද ඔහු පැවසීය.

කෙසේ නමුත් දේශපාලන බලපෑම් මත තමා ඉවත් කළ බවට සමන් වගආරච්චි නගන චෝදනාව ලක්බිම පුවත්පතේ හිමිකරු, ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල ප්‍රතික්ෂේප කරයි.

"කිසිම දේශපාලන ප්‍රශ්නයක් නැහැ නමුත් පරිපාලන ගැටලුවක් එයත් එක්ක තියෙනවා කියලා මුළු ආයතනයම දන්නවා," බවයි සුමතිපාල මන්ත්‍රීවරයා බීබීසී සංදේශයට කියා සිටියේ.

"එයාට ඒ ගැන කතාකරලා තියෙනවා. වැඩ කරන්න අපහසු නිසා ඉල්ලා අස්වෙන්න ඇති. එයාගේ හැටි දන්නවනේ."

පුවත්පතේ කටයුතුවලට තමන් බලපෑම් නොකරන බව පවසන තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා, පුවත්පතේ පලවන ඇතැම් මතවාද සමඟ තමා පෞද්ගලිකව එකඟ නොවන බවද සංදේශයට කියා සිටියේය.

කර්තෘවරයා ඉවත්කරන ලෙස ආරක්ෂක ලේකම්වරයා සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස බලපෑම් කල බවට සමන් වගආරච්චි එල්ල කරන චෝදනාවද පුවත්පතේ හිමිකරු ප්‍රතික්ෂේප කරයි.

"ගෝඨාභය රාජපක්ෂයි සජිත් ප්‍රේමදාසයි එක පක්ෂයක්ද? එතනම පේනවනේ? එක එක න්‍යායපත්‍රවලට වැඩකරලා ජාතික පුවත් පත් කරන්න බැහැනේ? මම කණගාටු වෙනවා ඔය ප්‍රකාශ ගැන," යනුවෙන්ද තිලංග සුමතිපාල මන්ත්‍රීවරයා කියා සිටියේය.

දේශපාලන බලපෑම් මත ලක්බිම කර්තෘවරයාට ඉවත්වීමට සිදුවීම පිළිබඳව ජනමාධ්‍ය සංවිධානද විරෝධය පළකොට තිබේ.