පැහැර ගත් ශිෂ්‍යාවන් විකිණීමට සැලසුමක්

Image copyright AFP

නයිජීරියාවේ ‘බොකෝ හරාම්’ ඉස්ලාමීය කැරලිකරුවන් විසින් පැහැර ගැනුණු ශිෂ්‍යාවන් සම්බන්ධව සඳුදා මුදා හල වීඩියෝ පටය හේතුවෙන් නයිජීරියානුවන් කෝපයටත් කම්පාවටත් පත් වී ඇති බව වාර්තා වේ.

ආයුධ සන්නද්ධ රථ කිහිපයක් ඉදිරිපස සිට කැරලි කණ්ඩායමේ නායක අබුබාකර් ශේකාවූ කියා සිටියේ මීට සති තුනකට ඉහත දී ඔවුන් විසින් පාසල් ශිෂ්‍යාවන් දෙසීයකට වඩා පැහැර ගත් බවයි.

පැහැර ගැනුණු ශිෂ්‍යාවන් විකිණීමට ඔවුන් විසින් සැලසුම් කර ඇති බව එහි දී ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

ශිෂ්‍යාවන් විකිණීමට තැත් කිරීම දරුණු අපරාධයකට මුල පිරීමක් බව එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් පිළිබඳ මාධ්‍ය ප්‍රකාශක රුපර්ට් කොල්විල් ‘බොකෝ හරාම්’ කැරලි කරුවන්ට අනතුරු හඟවමින් අවධාරණය කර සිටියේය.

වැඩි දුරටත් අදහස් දැක්වූ රුපර්ට් කොල්විල් ‘මේ වීඩියෝව අප සියල්ල දැඩි කම්පාවට ලක් කළා. වහල් සේවය වගේම අන්තර්ජාතික නීතියට අනුව කාන්තාවන් ලිංගික වහලුන් වශයෙන් යොදාගැනීමත් අතිශය තහනම්. මේ ඇතිවෙලා තියෙන්නේ ඒ වැනි තත්වයක්. මනුෂ්‍යත්වයට එරෙහිව කෙරුණු අපරාධයක් විදිහටයි අප මේ පැහැර ගැනුණු ශිෂ්‍යාවන් විකිණීමට තැත් කිරීම සලකන්නේ’.