සාම්පුර් අවතැන් වූවන්ට වන්දි

Image caption ජනතාවගේ මුල් පදිංචි ඉඩම් මේ ආකාරයෙන් අත්පත් කර ගැනීම නීතියට පටහැනි බවයි පැවසෙන්නේ

සාම්පුර් අධි ආරක්ෂක කලාපය හේතුවෙන් අවතැන් වූ ජනතාවට විකල්ප ඉඩම් හෝ වන්දි ලබා දීමට සුදානම් බව රජය දැනුම් දී තිබේ.

එසේ අවතැන් වූ ජනතාව තමන්ව මුල් ගම්බිම්වල පදිංචි කරන මෙන් ඉල්ලා ගොනුකළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේ රජයේ නීතිවේදියා මේ බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී සිටියේය.

අවතැන් වූ ජනතාවට අවශ්‍ය නම් තමන්ගේ මුල් පදිංචි ඉඩම් වෙනුවට විකල්ප ඉඩම් ලබා ගත හැකි අතර ඊට අකමැති පිරිස් වලට වන්දි ලබා ගත හැකි බවයි රජයේ නීතිවේදියා දැනුම් දී සිටියේ.

'නීති විරෝධීයි'

මෙම වන්දි ගෙවීම සදහා රජය මගින් රුපියල් මිලියන 300 ක මුදලක් වෙන්කර ඇති බවද රජයේ නීතිවේදියා විසින් අනාවරණය කෙරිණි.

එහෙත් මානව හිමිකම් ක්‍රියාකාරී නීතිවේදියකු වන ගුණරත්න වන්නිනායක පවසන්නේ ජනතාවගේ මුල් පදිංචි ඉඩම් මේ ආකාරයෙන් අත්පත් කර ගැනීම නීතියට පටහැනි බවයි.

‘’රටේ ක්‍රියාත්මක ඉඩම් පවරා ගැනීමේ නීතියට අනුව ඉඩමක් පවරා ගැනීමට විශේෂ අවශ්‍යතාවයක් තිබිය යුතුයි. එමෙන්ම ඉඩමක් පවරා ගැනීමට පෙර නිසි කරුණු විමසීමක් සිදුකළ යුතුයි. එසේ නො කොට ඍජුවම මේ ආකාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම අනුමත කරන්න බැ ‘’ යනුවෙන් නීතිවේදී වන්නිනායක කියා සිටියේය.

'සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන්න'

කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය රජයේ නිතිවෙදියාට නියම කළේ විකල්ප ඉඩම් හෝ වන්දි ලබා ගැනීමට කැමැති අවතැන් වුවන් පිලිබඳ සංඛ්‍යාලේඛන ඇතුලත් වාර්තාවක් මීළඟ නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

අනතුරුව පෙත්සම් විභාගය ජුනි මස 09 වනදා ට කල් තැබූ අධිකරණය එදින ට මේ පිළිබඳ ව පෙත්සම්කාර පාර්ශවයේ අදහස් විමසන බවයි කියා සිටියේ.

සාම්පුර් අධි ආරක්ෂක කලාපය හේතුවෙන් වසර 08 කට ආසන්න කාලයක් අවතැන් වී සිටින තමන්ව යලි පදිංචි කිරීමේ නියෝගයක් නිකුත කරනමෙන් ඉල්ලමිනුයි අදාළ ජනතාවගෙන් කොටසක් මෙම නඩුව පවරා තිබෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර