යුද්ධයෙන් දිනූ සාමය ආරක්ෂා කිරීම 'හමුදාවේ වගකීමක්'

Image copyright Ajithlal Shanthaudaya
Image caption මරාගෙන මැරෙන ප්‍රහාරයකින් යාන්තමින් දිවි ගලවාගත් බවත් මේජර් ජනරාල්වරයා සිහිපත් කළේය

යුද්ධයෙන් දිනාගත් සාමය තවදුරටත් ආරක්ෂා කරමින් සමාජ මෙහෙවර කිරීම යුද හමුදාවේ වගකීමක් බව ශ්‍රී ලංකා ගැමුණු හේවා රෙජිමේන්තු බල සේනාධිපති මේජර් ජනරාල් එල්බීආර් මාක්ස් ප්‍රකාශ කරයි.

'ත්‍රස්තවාදයට යළි පණ දීමට' උත්සාහ දැරූ ගෝපි ඇතුළු තිදෙනා මරා දැමීමෙන් සහ මාතරදී නිල්වලා ගඟට වැටුණු දරුවන් දෙදෙනා බේරා ගැනීමට මැදිහත්වීම මගින්, එම වගකීම ගැමුණු හේවා රෙජිමේන්තුවේ සියලු නිලයන් ඉතා හොඳින් අවබෝධ කරගෙන ඇති බව තහවුරු වන බවද ඔහු කියා සිටියේය.

මේජර් ජනරාල් එල්බීආර් මාක්ස් ඒ බව කියා සිටියේ, ශ්‍රී ලංකා යුද හමුදා සේවයෙන් විශ්‍රාම යාම නිමිත්තෙන් පසුගියදා කුරුවිට ගැමුණු හේවා රෙජිමේන්තු මුලස්ථානයේදී පැවැත්වුණු උත්තමාචාරයකදී අදහස් දක්වමින්.

'මරාගෙන මැරෙන ප්‍රහාරයක්'

යුද්ධයට මෙන්ම යුද්ධයෙන් අවතැන්වූ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමටත්, ඔවුන්ට නිවාස සපයා දීම ඇතුළු සුබසාධනයට දායක වීමටත් තමන්ට අවස්ථාවක් ලැබුන බවද ඔහු පැවසීය.

තිස්හතර වසරක හමුදා දිවියේ දී මාවිල්ආරු මෙහෙයුමේ පටන් නන්දිකඩාල් දක්වා වූ උතුරු නැගෙනහිර මුදා ගැනීමේ මානුෂිය මෙහෙයුම්වලට දායක වූ තමන් මරාගෙන මැරෙන කොටි කාන්තාවකගේ ප්‍රහාරයකින් අනූ නවයෙන් දිවි ගලවා ගත් බවද මේජර් ජනරාල්වරයා හෙළි කළේය.

සාර්ථක ත්‍රස්තවාදී මෙහෙයුම් ගණනාවක් ජයගත් බවත් එහිදී ඉහළ නිලධාරීන්ට වඩා පහළ නිලධාරීන්ගෙන් වැඩි සහයෝගයක් ලැබුන බවයි මේජර් ජනරාල්වරයා පවසන්නේ.

රටට සාමය දිනා ගැනීමේදී ගැමුණු හේවා රෙජිමේන්තුවේ 3524ක් ප්‍රාණ දානයද 5543ක් කාය දානයද දුන් බවද ඔහු සිහිපත් කළේය.

සාමය උදාකරගෙන සංවර්ධනයක් කරා රට ගෙනයන මොහොතක හමුදාව එයට සහාය විය යුතු බවට විශ්‍රාම ලබන මේජර් ජනරාලවරයා පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර