ඉන්දු - ලංකා ධීවර සාකච්ඡා අසාර්ථකයි

ශ්‍රී ලංකා සහ ඉන්දීය ධීවර නියෝජිතයන් අතර කොළඹ පැවැත්වුන සාකච්ඡා කිසිදු එකඟතාවයකින් තොරව අවසන් විය.

එම සාකච්ඡා ඉතා උණුසුම් මුහුණුවරක් ගත් බවයි, ජන මාධ්‍ය මට්ටමින් බීබීසී සංදේශය වෙනුවෙන් ඊට සහභාගී වූ අසාම් අමීන් පවසන්නේ.

සඳුදා දවස මුළුල්ලේ පෙරට යමින් තිබුණ එක් දින සාකච්ඡාවට තමිල්නාඩුවේ ධීවර නියෝජිතයන් දහඅට දෙනකු සහ ශ්‍රී ලංකාවේ ධීවර නියෝජිතයන් විසි දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වූහ.

දෙ රටේ ධීවර නියෝජිතයන් දෙපාර්ශවයේ යෝජනා පෙරට තබමින් ඒවා දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ගත් නමුත් එකඟතාවයකට එළඹීම අතින් දැඩි දුෂ්කර තත්වයක් ආරම්භයේ පටන්ම පෙනී ගිය බවයි, අසාම් අමීන් වාර්තා කරන්නේ.

ධීවර නියෝජිතයන් මේ සාකච්ඡාවට සහභාගී වී ඇත්තේ දෙ රටේ ආණ්ඩුවල නියෝජනයෙන් තොරව ධීවර සංවිධාන මට්ටමිනි.

ඉන්දියානු ඉල්ලීම

ඉන්දියානු ධීවර නියෝජිතයන්ගේ එක් ඉල්ලීමක් වී ඇත්තේ සතියකට දෙවතාවක් වත් ශ්‍රී ලංකා මුහුදු තීරයට පිවිස ධීවර කර්මාන්තයේ යෙදීමට අවස්ථාව සලසන ලෙසයි.

එහෙත් ශ්‍රී ලංකා ධීවර නියෝජිතයන් එම ඉල්ලීමට දැඩි විරෝධය පළ කොට ඇත.

“යම් යම් අවස්ථාවල ධීවර නියෝජිතයන් ආවේගශීලී ව අදහස් දක්වනු දක්නට ලැබුණා. ශ්‍රී ලංකා ජල තීරයට පිවිසීමට අවසර නොලැබුනොත් එය තම ජීවිකාවට බලවත් ප්‍රශ්නයක් වන බවයි, ඉන්දියානු නියෝජිතයන් කියා සිටියේ” අසාම් අමීන් වාර්තා කරයි.

ලංකා ධීවර ප්‍රතිචාරය

එහෙත් එම ඉල්ලීම ශ්‍රී ලාංකික ධීවර නියෝජිතයන් විසින් බැහැර කරන ලද්දේ තිස් වසරක සිවිල් යුද්ධය නිසා මුහුද අහිමිව සිටි තමන්ට දැන් සිය ජීවිකා වෘත්තියේ නිරත වීමට අවශ්‍ය කරන බව පවසමින්.

ඉහත කී ධීවර සාකච්ඡාවට නිරීක්ෂක මට්ටමින් සහභාගී වූ ශ්‍රී ලංකා ධීවර අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නරේන්ද්‍ර රාජපක්ෂ පවසන්නේ, “ට්‍රෝලින්”ක්‍රමයට මුහුදු පත්ල සූරා ගනිමින් සිදු කරන මසුන් මැරීම සඳහා ඉන්දියානු ධීවරයන් අවසර ඉල්ලා සිටියත් එය ශ්‍රී ලංකාව විසින් තහනම් කරනු ලැබ ඇති මත්ස්‍ය දඩයමක් වන බවයි.

“ට්‍රෝලින්”ක්‍රමයට මසුන් මැරීම ශ්‍රී ලංකාවේ තහනම්. එම ක්‍රමයට මසුන් මැරූ ශ්‍රී ලාංකික ධීවරයන් පවා අත්අඩංගුවට ගෙන තිබෙනවා. එවැනි තත්වයක් පවතිද්දී ඉන්දීය ධීවරයන් ශ්‍රී ලංකාව ට අයත් මුහුදේ “ට්‍රෝලින්”ක්‍රමයට අවසර ඉල්ලීම සම්බන්ධයෙන් අපේ ධීවරයන් විරුද්ධ වුනා” නරේන්ද්‍ර රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියි.

ඊළඟ පියවර

ඉන්දීය සහ ශ්‍රී ලංකාවේ විදේශ ඇමතිවරු දෙ රටේ ධීවර ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා කමිටුවක් පත් කර ඇති අතර, මී ළඟ පියවර වන්නේ එම කමිටු අතර සාකච්ඡා කිරීම වන බව ශ්‍රී ලංකා ධීවර අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නරේන්ද්‍ර රාජපක්ෂ පවසයි.

එම ඉදිරි සාකච්ඡා වටය දෙ රටේ නිලධාරීන් සහභාගී වෙන රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ එකක් වන අතර ඒ සඳහා ශ්‍රී ලංකා ධීවර අමාත්‍යාංශය ඉන්දියානු විදේශ අමාත්‍යාංශයෙන් දිනයක් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වෙන බවයි, මාධ්‍ය ප්‍රකාශක නරේන්ද්‍ර රාජපක්ෂ වැඩිදුරටත් පවසන්නේ.

එකී සාකච්ඡාව ලබන ජුලි මාසයේ ආරම්භ වීමට ඉඩකඩ ඇති බවයි, ධීවර අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නරේන්ද්‍ර රාජපක්ෂ කියා සිටියේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර