කතරගම උත්සව කාලය ප්‍රශ්නයක්

කතරගම බෞද්ධ - හින්දු දෙපාර්ශ්වයේම පුද බිමක් වන අතර ඓතිහාසික කතරගම වාර්ෂික උත්සවයේ දී, පසු ගිය වසරේ මෙන් මේ වසරේත්, හින්දු ලිත උල්ලංඝණය කර ඇතැයි හින්දු බැතිමත්හු කණගාටුව පළ කරති.

යුද කාලයේදී පවා ලිතේ සඳහන් වන පරිදි සාමාන්‍ය කාල සටහනට අනුව සිදු කෙරුණු රුහුණු කතරගම වාර්ෂික මංගල්‍යය පසුගිය වසරේ මෙන් ම මේ වසරේත් දින වකවානු වෙනස් කර ඇති බවට හින්දු බැතිමතුන් සිය අප්‍රසාදය පළ කර ඇත.

පාද යාත්‍රා කණ්ඩායමක නායක වේල් සාමි ප්‍රකාශ කරන්නේ උතුරේ පේදුරු තුඩුවේ තොණ්ඩමන් ආරු, සෙල්වචේන්නදී කෝවිලේ සිට ආරම්භ වන පාද යාත්‍රා වෙරළබඩ මාර්ගය ඔස්සේ දින පනස් පහක පා ගමනකින් පසු කොඩි උත්සව දිනයේ කතරගම දේවාලයට ලඟා වන බවයි.

සිය ලිතට අනුව ජුලි මස අමාවක දින උත්සවය ඇරඹිය යුතු අතර අගෝස්තු දහ වන දින දිය කැපීමේ මංගල්‍යය සිදු කළ යුතු නමුත් පරිපාලන බලධාරීන් වෙනස් දින සටහන් ප්‍රකාශයට පත් කිරීමත් සමග ජුනි 1 වෙනිදා ආරම්භ කිරීමට නියමිත පාද යාත්‍රා කල් තබා ආරම්භ කිරීමට සිදු වීමෙන් හින්දු බැතිමතුන් දැඩි අපහසුතාවයකට පත් වී ඇති බව ඔහු තව දුරටත් පැවසීය.

බෞද්ධ ආධිපත්‍යය

නැගෙනහිර පළාතේ හින්දු සංවිධාන වල එකමුතුවේ සභාපති මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් යෝගේෂ්වරන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ පසුගිය වසරේ ද උත්සව දින වෙනස් කිරීම පිළිබඳව ආගමික කටයුතු ඇමති වරයා සමග සාකච්ඡා කළ අවස්ථාවේ විවිධ හේතු පිළිතුරු ලෙස ලැබුනත් මේ වසරේ මෙම කටයුතු නිසි ලෙස සිදු වේ යයි තම විශ්වාස කල බවයි.

මෙය කෝවිලේ බෞද්ධ ආධිපත්‍යය පෙන්නුම් කිරීමක් බවයි ඔහු කියා සිටියේ.

රුහුණු කතරගම දේවාලයේ පරිපාලන ලේකම් එම්. ඒ දයානන්ද මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේ,ඉහත කී අදහස් සාවද්‍ය බවත් පුරාණ චාරිත්‍ර වලට අනුකූලව සැකසුණ දින වකවානු කල් වේලා ඇතිව හින්දු කටයුතු පිළිබඳ සංස්කෘතික අමාත්‍යාංශයට දැනුම් දුන් බවයි.