‘මළවුන් සැමරීමටත් බාධා’- TNA

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේදී මරණයට පත් ජනතාව සැමරීම පිණිස සිකුරදා දහවල් යාපනයේ කයිතඩි පළාතේ පිහිටි උතුරු පළාත් සභා ගොඩනැගිල්ල ඉදිරිපිට සංවිධානය කළ උළෙලට යුද හමුදාව සහ පොලිසිය බාධා කළ බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

එම උළෙල මුලතිව්, වෙල්ලිමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පැවැත්වීමට කටයුතු කළ අවස්ථාවේ ආරක්ෂක අංශ අවසර නොදීම නිසා උතුරු පළාත් සභා කාර්යාලය ඉදිරිපිට එය පැවැත්වීමට පියවර ගත් නමුත් යුද හමුදාව සහ පොලීසිය තමන්ට එහිදීත් බාධා එල්ල කිරීම දැඩි අසාධාරණයක් යැයි උතුරු පළාත් සභා මන්ත්‍රී ශිවාජිලිංගම් කියා සිටියේය.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ එල්.ටී.ටී.ඊ. දේශපාලන අංශය භාරව සිටි එස්.එලිලන්ගේ බිරිඳ වන පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි සශිහරන්ට සහ තමාට උතුරු පළාත් සභා භූමියට ඇතුල්වීමට පොලීසිය ඉඩ නොදුන් බව පවසන එම්.කේ.ශිවජිලිංගම් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ බාධා මධ්‍යයේ වුවද මියගිය ජනතාව සැමරීමට තමන්ට හැකි වූ බවයි.

මියගිය ජනයා වෙනුවෙන් පහනක් දැල්වීමට අවස්ථාවක් ලබා නොදීම දැඩි අසාධාරණයක් බව කී ආනන්දි සශිහරන් මන්ත්‍රීවරිය, සමරු උළෙල මුලතිව්, වෙල්ලිමුල්ලිවයික්කාල් පළාතේ පැවත්වූයේ නම් ආරක්ෂක අංශ මීට වඩා දරුණු අන්දමේ පිළිවෙතක් අනුගමනය කිරීමට සුදානමින් සිටි බවයි කියා සිටියේ.

ආණ්ඩුවේ ප්‍රතිචාරය

Image caption 'මළවුන් සමරන්න ඉඩ දෙන්න'

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ බීබීසී සංදේශයට ප්‍රකාශ කළේ උතුරු පළාත් සභා ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුල්වී මියගිය එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත වාදීන් සැමරීමට උත්සාහ කළ පළාත් සභා මන්ත්‍රී වරයකු සහ මන්ත්‍රී වරියක පොලිසිය විසින් ඉවත් කරණ ලද බවයි.

අනතුරුව ඔවුන් දෙදෙනාගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා මන්දිරය ඉදිරිපිට රැස්වීමක් පැවැත්වුණු බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේය.

2009 මැයි මස 15 වෙනිදායින් පසු යුද්ධය පැවති කළාපයේදී මරණයට පත් වූයේ එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් වූ බැවින් සාමාන්‍ය වැසියන් සිහිපත් කිරීමේ මුවාවෙන් එල්.ටී.ටී.ඊ.සාමාජිකයින් සිහි කිරීමට ඉඩ දිය නොහැකි බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වැඩිදුරටත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර