ඥාතීන් සිහිපත් කිරීමත් 'දෙමළ ජනතාවට අහිමියි'

Image copyright BTF
Image caption ලන්ඩනයේ පැවති පෙළපාලියට විශාල පිරිසක් එක් වී සිටියහ

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේදී මරුමුවට පත් වූ දහස් ගණන් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් සාධාරණය ඉටු කරන මෙන් ලොව පුරා රටවල් ගණනාවක වෙසෙන විදේශගත දෙමළ ප්‍රජාව ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

එම මරණ සම්බන්ධයෙන් වගවීම ක්‍රියාත්මක කරන්නැයි ශ්‍රී ලංකා ආණ්ඩුවට බල කරන මෙන් තමන් බටහිර රටවල නායකයන්ගෙන් ඉල්ලා සිටින බවද ඩයස්පෝරා සංවිධාන පවසති.

බ්‍රිතාන්‍ය දෙමළ සංසදයේ ප්‍රකාශකයෙක් ඒ බව කියා සිටියේ ලන්ඩනයේ ට්‍රැෆල්ගාර් චතුරශ්‍රයේ ඔවුන් සංවිධානය කොට තිබුන මුල්ලිවයික්කාල් අනුස්මරණ උත්සවයේ අරමුණ පිළිබඳව බීබීසීය සමඟ අදහස් දක්වමින්.

මැයි 18 වැනි දින යනු තමන්ට ශෝක දිනයක් බව පවසන බ්‍රිතාන්‍ය දෙමළ සංසදයේ ප්‍රකාශකයා, තමන්ගේ මියගිය ඥාතීන් සිහිපත් කිරීමට පවා ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට අවසර නැති බවද සඳහන් කළේය.

යුද්ධයේ දී මියගිය දෙමළ ජනතාව සිහිපත් කරමින් කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් ගණනාවක අනුස්මරණ උත්සව සහ උද්ඝෝෂණ සංවිධානය කොට තිබුනි.

මේ අතර, දෙමළ ඩයස්පෝරාව ඇතුළු ඇතැම් බලවේගයන් යලිත් වරක් ශ්‍රී ලංකාවේ 'ත්‍රස්තවාදය ඔසවා තැබීමට' උත්සාහ දරන බවට ජනාධිපති මහින්ද රාජපක්ෂ චෝදනා කරයි.

එය ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ප්‍රජාවට කරන අසාධාරණයක් බවයි ජනාධිපතිවරයා විජයග්‍රාහී දින සැමරුම් උළෙලේ දී කියා සිටියේ.

දෙමළ ඩයස්පෝරා සංවිධාන ත්‍රස්තවාදයට උදව් කරන බවට ශ්‍රී ලංකා ආණ්ඩුව නගන චෝදනාව බ්‍රිතාන්‍ය දෙමළ සංසදය ප්‍රතික්ෂේප කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර