ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යුද්ධය දිනා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළා - ජනපති

ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් 2009 මැයි 18 වැනි දින ලබා ගත්තේ යුද ජයග‍්‍රහණයක් නොව සාමයේ විජයග‍්‍රහණයක් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

මාතර වෙරළ උද්‍යානයේ පැවැත්වුණු එල්ටීටීඊය පරාජය කිරීමේ පස් වැනි සැමරුම් උළෙල අමතමින් ඒ බව කියා සිටි ජනාධිපතිවරයා, 'ඓතිහාසිකව නොවිසඳුනු ප‍්‍රශ්නයකට' විසඳුම් ලබාදීමෙන් අනතුරුව සිය ආණ්ඩුව රටපුරාම ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කළ බවද සඳහන් කළේය.

Image copyright AFP
Image caption 'ප්‍රාණ ඇපකාරයෝ වෙලා හිටපු ලක්ෂ තුනක ජනතාව මුදා ගත්තේ අපේ මේ රණවිරුවෝ'

දශක තුනකට ආසන්න කාලයක් මුළුල්ලේ එල්ටීටීඊය විසින් කරන ලද අපරාධ පිළිබඳව නැසූ කන්ව සිටි බවට ජාත්‍යන්තර ප්‍රජාවට සහ විදේශීය ජනමාධ්‍යවලට චෝදනාවක්ද එල්ල කළේය.

"අපේ රටේ සාමය ආරක්ෂා කරන්න අපි විදේශ කුලී හමුදාව ගෙන්නුවේ නෑ. ප්‍රාණ ඇපකාරයෝ වෙලා හිටපු ලක්ෂ තුනක ජනතාව මුදා ගත්තේ අපේ මේ රණවිරුවෝ," යනුවෙන්ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

කැනඩාව වර්ජනයක

ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් සහ රජයේ නිලධාරීන් ඇතුළු බොහෝ පිරිසක් උත්සවයට සහභාගි වී සිටි නමුත් බොහෝ බටහිර රාජ්‍යතාන්ත්‍රිකයෝ උත්සවයට සහභාගි නොවූහ.

ශ්‍රී ලංකා ආණ්ඩුව රටේ සංහිඳියාව ඇති කිරීම උදෙසා ක්‍රියා කළ යුතු බව පවසමින් උත්සවය වර්ජනය කරන බව කැනඩාව සඳහන් කොට තිබුණි.

ඒ පිළිබඳව විශේෂ සඳහනක් නොකළ නමුත්, ආරක්ෂක හමුදාව ලබාගත් ජයග්‍රහණය සැමරීම 'කෙලෙහි ගුණ දන්නා' රටවැසියන්ගේ යුතුකම බව ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේය.

එබැවින් 'කවුරුන් විරුද්ධ වුවත්' එය සදා කල් සැමරිය යුතු බවද ජනාධිපතිවරයා පැවසීය.

දෙමළ ඩයස්පෝරාව ඇතුළු ඇතැම් බලවේගයන් යලිත් වරක් ශ්‍රී ලංකාවේ 'ත්‍රස්තවාදය ඔසවා තැබීමට' උත්සාහ දැරීම ශ්‍රී ලංකාවේ වෙසෙන දෙමළ ප්‍රජාවට කරන අසාධාරණයක් බවද ජනාධිපතිවරයා පැවසීය.

දස දහසකට ආසන්න ත‍්‍රිවිධ හමුදා භටයන් සහ පොලිස් නිලධාරීන් පිරිසක්ද සහභාගි වී සිටි බවයි, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ සඳහන් වන්නේ.