වසර දහනවයක් නිදැල්ලේ

වසර දහ නවයක කාලයක් ව්‍යාජ නාමයකින් ශ්‍රී ලංකාව තුළ ජීවත් වී ඇතැයි පොලිසිය චෝදනා කරන පුද්ගලයකු අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණ අතර එම පුද්ගලයා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන මෙන් ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරසිංහ නියෝග කළාය.

අනුරාධපුරයේ පරසන්ගස්වැව ප්‍රදේශයේ කෝලිය බැන්ද වැව ගමේ හම්සා ජමාල්ඩීන් යන නමින් ජීවත් වූ එම පුද්ගලයා කේරල ජාතිකයකු වන බවයි පොලිසිය පවසන්නේ.

ඔත්තුවක් අනුව අත්අඩංගුවට ගනු ලැබුණ එම පුද්ගලයා සන්තකයේ රටවල් කීපයකින් නිකුත් කරන ලද ව්‍යාජ හැඳුනුම්පත් කීපයක්ම තිබුණ බවත් ඒවා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

ඉන්දීය ඔත්තුකරුවෙක් ද?

වරින් වර උතුරු පළාතේ සංචාරයක කර ඇති ඉහත කී පුද්ගලයා ඉන්දියානු රහස් ඔත්තු සංවිධානයක නිරත වූවෙක්දයි පොලිසිය සැක කරයි.

ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් කීප වරක් පිටරට සංචාරය කර ඇති ඔහු සිය පළමු විදේශ ගමන් බලපත්‍රය විනාශ කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගෙන ඇති බවත් පැවසෙයි.

පොලිසිය ප්‍රශ්න කරද්දී ඔහු පවසා ඇත්තේ 1995 වසරෙහි කේරලයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි බවයි.