ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පොලිස් වෙඩි තැබීමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතළ තුවාල

මීගමුව පොලිසියේ නිලධාරීන් දෙදෙනෙක් සිදු කල වෙඩි තැබීමකින් බරපතල තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු මිගමුව මහා රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය ඇසින් දුටු විජය සමරුගම පදිංචි ප්‍රදීප් සිල්වා ප්‍රකාශ කර සිටියේ, ඉරිදා මීගමුව දෙමංහන්දිය ප්‍රදේශයේ පැවති අවුරුදු උත්සවයකින් පසු එම වෙඩි තැබීම සිදු වූ බවයි.

මෙම වෙඩි තැබීමට පෙර අසල නිවසකට එල්ල කෙරුණ ප්‍රහාරයකින් තුන් දෙනකු තුවාල ලබා ඇති අතර එම ප්‍රහාරයේදී තුවාල ලත් පුද්ගලයන් ත්‍රිරෝද රථයක නංවා රෝහල වෙත යැවීමෙන් පසු දුරකථන ඇමතුමක් මගින් පොලිස් නිලධාරීන්ට සිද්ධිය දැනුම් දුන් බවත් ඒ අනුව පැමිණි පොලිස් නිලධාරීන් යතුරු පැදියකින් එහි ලඟා වූ තරුණයන්ට වෙඩි තැබූ බවත් ප්‍රදීප් සිල්වා පවසයි.

මීගමුව කදිරාන ප්‍රදේශයේ පදිංචි නුවන් හේවගේ ප්‍රකාශ කලේ පොලිස් වෙඩි පහරින් තුවාල ලබා ඇත්තේ තම සහෝදරයාගේ පුතෙකු බවයි. පසුගිය 21 වන දින සිදුවූ අත් බෝම්බ ප්‍රහාරයක් මේ සිදුවීම් මාලාවට මුලික හේතුව බව පැවසු නුවන් හේවගේ තව දුරටත් කියා සිටියේ, පොලිසිය ඒ අවස්ථාවේ ඒ වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග නොගත් බවයි.

නීතියේ රැකවරණය මෙරට තුල ස්ථාපිත වී ඇත් දැයි සොයා බලන ලෙස වගකිව යුතු බලධාරීන්ගෙන් ඔහු ඉල්ලීමක් ද කරයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ කියා සිටියේ ආත්ම ආරක්ෂාව හා ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිසිය වෙඩි තැබීමක් සිදු කල බව පිළි ගන්නා බවයි.

මේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් දැනට තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පැවසීය.