ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දෙමළ සමාජයෙන් කොන්වන හිටපු කොටි සාමාජිකයෝ

ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ පුනරුත්තාපනය කර නිදහස් කළ කොටි සංවිධානයේ හිටපු සාමාජික සාමාජිකාවන් නිරන්තරයෙන් ප්‍රශ්න කිරීම් වලට සහ සෝදිසි කිරීම් වලට ලක් කරන නිසා දෙමළ සමාජය ඔවුන් ආශ්‍රය කිරීමට බිය වී ඇති බව හිටපු කොටි සාමාජිකාවක වන කෝකිලවානි පවසයි.

කෝකිලවානි යන නමින් පෙනී සිටින ඇය කොටි සංවිධානයේ කාන්තා සංවිධානයට සම්බන්ධව කටයුතු කළ අතර අවසන් සටනේ එල්ල කළ ෂෙල් ප්‍රහාරයකින් සිය දකුණු අතද අහිමි වී ඇත.

තම පවුලේ සාමාජිකයන් සියලුදෙනාම යුද්ධයෙන් මිය ගොස් ඇති බවයි ඇය පැවසුවේ.

යුද්ධයේ අවසන් කාලයේ දී එම ප්‍රදේශවල ජීවත් වූ ජනතාව ෂෙල් ප්‍රහාර නිසා දහස් ගණනින් මියගිය බව පවසන කොකිලවානි තවත් බොහෝ දෙනා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය බෙහෙත් නොමැතිවීම නිසා මියගිය බව පවසන්නීය.

මෙවන් තත්වයක් ඇති වුයේ ජනතාව මිනිස් පලිහක් ලෙස එල්ටීටීඊය විසින් යොදාගැනීම නිසා නොවේ දැයි බීබීසීය ඇගෙන් කල විමසීමකට පිළිතුරු දෙමින් ඇය එම චෝදනාව ප්‍රතික්ෂේප කළාය.

නිරන්තර සෝදිසි කිරීම් හේතුවෙන් පසුගිය වසර තුනේ දී ඇයට නිවාස නමයකින් ඉවත් වීමට සිදු වූ බවත් තමා සේවය කල ව්‍යාපාරික ස්ථානයෙන් පවා ඉවත් වීමට සිදු වූ නිසා ඉතා අසරණ තත්වයකට පත්ව සිටින බවත් කෝකිලවානි බීබීසී වාර්තාකරු අසාම් අමීන් සමග පැවසුවාය.

එල්ටීටීඊ සංවිධානය නැවත ප්‍රතිසංවිධානය වීමට උත්සාහ කරන බවට රජය කරන ප්‍රකාශ අසත්‍ය බවත්, යුද්ධයේ කටුක අත්දැකීම් වලට මුහුණ දුන් උතුරේ ජීවත් වන කිසිවකුත් නැවත කිසි දා යුද්ධයකට සම්බන්ධ නොවන බව තමාගේ විශ්වාසය බවත් කොකිලවානි පැවසුවාය.

තමන් දිනකට කිලෝ මීටර් හයක් පාපැදියකින් ගමන් කරන බවත් , කිසිවකුගේ උපකාර නොමැතිව සියලු වැඩකටයුතු වල නියැලෙන බවත් පවසා සිටි ඇය , සාමාන්‍ය ජන ජීවිතයට සුදුසු තත්වයක් ඇතිවුනොත් ව්‍යාපාරයක් අරම්භ කිරීමට අදහස් කරන, නමුත් අවාසනාවකට එවන් තත්වයක් උතුරේ තවමත් නිර්මාණය වී නොමැති බව පැවසුවාය.

උතුරේ ජීවත් වන දෙමළ ජනතාවට නිදහසේ ජීවත් වීමට අවස්ථාව ලබා දෙන ලෙස සියලු දෙනාගෙන්ම තමන් ඉල්ලා සිටින බව කෝකිලවානි බීබීසීයට තවදුරටත් ප්‍රකාශ කළාය.