උතුරේ යුද අනුස්මරණ උත්සවයක්

Image caption යුද්ධයෙන් මියගිය පිරිස සැමරීම පිණිස ඉටිපන්දම් හා පහන් දල්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාව

යුද්ධයෙන් මියගිය පිරිස අනුස්මරණය කිරීමට දෙමළ ජාතික සන්ධානය තවත් පක්ෂ කිහිපයක ආධාර ඇතිව උතුරු පළාත් සභා ගොඩනැගිල්ල තුළ උත්සවයක් පවත්වා ඇත.

දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවජිලින්ගම් කියා සිටියේ පසුගිය 16 වෙනිදා මෙම උත්සවය පැවැත්වීමට ගිය අවස්ථාවේදී ආරක්ෂක අංශ වලින් බාධා එල්ල වුවත් අද එවැන්නක් සිදු නොවු බවයි.

මෙම උත්සවයට උතුරු පළාත් සභාවේ තවත් දේශපාලන පක්ෂ කීපයක සහයෝගය ලැබුණු අතර එය සංවිධානය කළේ එදා සිට මේ දක්වා යුද්ධයෙන් මියගිය පිරිස අනුස්මරණය කිරීමට මෙන්ම විශේෂයෙන්ම මුලතිවු මුල්ලිවයික්කාල් පළාතේදී අවසන් සටනෙන් මියගිය ආයුධ සන්නද්ධ හා සාමාන්‍ය දෙමළ වැසියන් සිහි කිරීම පිණිස යැයි එම්.කේ.ශිවජිලින්ගම් කියා සිටියේය.

විජේවීර

ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර අනුස්මරණය කිරීමට මේ රටේ වැසියන්ට අයිතිවාසිකමක් ඇතිවා මෙන්ම යුද්ධයේදී මියගිය දෙමළ පිරිස සිහි කිරීමට දෙමළ ජනතාවටද අයිතියක් ඇතැයි ශිවාජිලින්ගම් මන්ත්‍රීවරයා පවසයි.

මෙම උත්සව අවස්ථාවට උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා සහ සභාපතිවරයා නොපැමිණියේ මන්දැයි විමසුවිට මන්ත්‍රීවරයා කියා සිටියේ එය ඇසිය යුත්තේ ඔවුන්ගෙන් බවයි.

ඔවුන් දෙදෙනා පළාත් සභා ශාලාව තුළට පැමිණ ඇත්තේ මන්ත්‍රීවරු යුද්ධයෙන් මියගිය පිරිස අනුස්මරණය කිරීමට ඉටිපන්දම් හා පහන් දල්වා විනාඩි දෙකක කාලයක් නිශ්ශබ්දතාවය රැකීමෙන් අනතුරුවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර