ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'හොල්සිම්' සේවකයෝ වර්ජනයේ

හොල්සිම් ලංකා සිමෙන්ති සමාගමට අයත් ගාල්ල, අරුඅක්කාරු හා පුත්තලම යන කර්මාන්ත ශාලා වල අනියම් සේවකයන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් ඉදිරි දින කිහිපය ඇතුළත රට තුළ සිමෙන්ති හිඟයක් ඇති විය හැකි බව අන්තර් සමාගම් සේවක සංගමයට අයත් පුත්තලම හොල්සිම් සිමෙන්ති සමාගමේ ස්ථිර නොවන සේවකයන්ගේ ශාඛාවේ භාණ්ඩාගාරික එම්. චන්ද්‍රසේන පවසයි.

දින හතරක් පුරා පැවති මෙම වැඩ වර්ජනයට අනියම් සේවකයන් පන්සීයකට ආසන්න සංඛ්‍යාවක් එක් වී සිටිති.

සේවය ස්ථීර කිරීම් ඇතුළු ඉල්ලීම් දොළහක් මුල් කර ගනිමින් මේ වැඩ වර්ජනය ආරම්භ කල බව සේවකයෝ පවසති .

වර්ජනයේ නිරත සේවකයන් පුත්තලම වැඩ බිම ඉදිරි මාර්ගයේ පෙළපාලි යමින් තම ඉල්ලීම් වලට ඇහුම්කන් දෙන ලෙස හොල්සිම් පාලකයන්ගෙන් ඉල්ලා සිටියහ.

ගාල්ල නගරයේ දී සේවකයන්ට එල්ල කරන ලද ප්‍රහාරයක් හෙලා දැකීමක් ද සිදු විය.

මේ පිළිබඳ බීබීසී ය කළ විමසීමක දී හොල්සිම් ආයතනයේ සන්නිවේදන කළමනාකාරිණී ෆයෝනා නානායක්කාර ප්‍රකාශ කළේ වර්ජනයේ නිරත අනියම් සේවකයන් තම ආයතනයේ තුන් වන පාර්ශවයක් ලෙස සේවය කරන කම්කරුවන් බවයි .

වර්ජනය හේතුවෙන් නිෂ්පාදනයට බාධා ඇති වී ඇති බව ප්‍රකාශ කල ෆයෝනා නානායක්කාර රටේ සිමෙන්ති අවශ්‍යතාවෙන් සියයට තිස් එකක් හොල්සිම් ආයතනය විසින් සපුරන බව ද පැවසුවාය.

ගැට‍ළු වලට විසඳුම් ලබා ගැනීම සඳහා කම්කරු කොමසාරිස් කාර්යාලයෙහි පැවති සාකච්ඡා අසාර්ථක වූ බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ පවසයි.