ඩෙංගු විරෝධී සිරකරු බලකායක්

Image caption ඩෙංගු මදුරවාට එරෙහිව සිරකරුවන්

රත්නපුර නගර සීමාව තුළ ඩෙංගු උවදුර නිසා වසා දැමුණ පාසල් යළි විවෘත කිරීමට අවශ්‍ය පරිසර පිරිසිදු කාර්යය සඳහා සිරකරුවන් ද යොදා ගනු ලැබුණි.

ශ්‍රමදාන, පිරිසිදු කිරීම් වැනි තාවකාලික පැලැස්තර විසඳුම්වලින් ඩෙංගු රෝගය මැඩලිය නොහැකි බවයි, මේ අතර පරිසරවේදීන් පෙන්වා දෙන්නේ. ඒ සඳහා වසර පුරා ඒ ඒ ආයතන සමග අත්වැල් බැඳගත් දිගු කාලින සැලැස්මක් තෙත් කලාපය සඳහා ක්‍රියාත්මක කළ යුතු බව පරිසරවේදීහු අවධාරණය කරති.

ඩෙංගු මදුරුවා නිසා රත්නපුර නගර සීමාවේ සිසු දරු දැරියන් විසි දහසක පමණ අධ්‍යාපනය අඩාල කෙරෙමින් පාසල් දාහතරක් වසා දැමීමට පසුගියදා බලධාරීන්ට සිදු විය.

මේ අතර මැයි විසිතුන් වෙනි දින රත්නපුර නගරයේ පාසල් අවට සහ නගරයේ ජලය බැසයන කාණු පද්ධතිය ශ්‍රමදාන පදනමින් පිරිසිදු කිරීමේ වැඩ පිළිවෙලක් දියත් කෙරුණි. යුද හමුදාව, පොලිසිය, බන්ධනාගාර රැඳිවියන්, පාසල් දරුවන්ගේ මව්පියෝ ඊට එක්ව සිටියහ.

රත්නපුර නගරයෙන් ඩෙංගු රෝගීන් වැඩි දෙනෙක් හමු වුණේ කාගේ වරදකින්ද? යන පැනයට පිළිතුරු දෙන පරිසරවේදියෙකු සහ රාජ්‍ය නොවන ආයතන ක්‍රියාකාරිකයෙකු වූ සුගත් චන්ද්‍රසේන කියන්නේ දේශගුණික ආපදා තත්වයක් ඊට හේතු වූ බවයි.

“තෙත් කලාපයට නිරිත දිග මෝසම් වැසි වැඩිපුර ලැබෙන්නේ මේ කාලයේ. නමුත් මේ වතාවේ අපි අපේක්ෂා කරන වැස්ස ලැබුණේ නෑ. කඩින් කඩ ලැබෙන කෙටි වර්ෂාපතනයක් තමයි තියෙන්නේ. මේක මදුරුවන් බෝවීමට හේතුවක්’’ සුගත් චන්ද්‍රසේන පැහැදිලි කළේය.

ජනතාවගේ නොසැලකිල්ල සහ ආකල්පමය වෙනසක් නැති කම ඩෙංගු මදුරුවා බෝ වීමට හේතු වෙන බවයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ දොස්තර කපිල කන්නන්ගර මේ අතර පවසන්නේ.

“සෑම පාසලකම පාහේ මව්පියන් ඇතුළු වැඩි දෙනෙක් සුද්ද පවිත්‍ර කළේ වැඩි අපවිත්‍ර නැති තැන්. ඒවායේ තිබුණේ තණකොළ, කඩදාසි, පොලිතින්, යෝගට් කෝප්ප, කෑම දවටන ආදියයි. මේවා බැහැර කරන්න නගරයේ වෙන වෙනම බඳුන් තැබුවත් සමහරුන් ඒවා ඉබාගාතේ විසි කර තිබුණ බවක් පැහැදිලිව පෙනුණා”

පරිසර සමතුලිතය

ඩෙංගු මදුරුවා සහ පරිසර ප්‍රශ්න සමාලෝචනය කරන සුගත් චන්ද්‍රසේන පවසන්නේ,පරිසරයේ සමතුලිතතාව රැකෙන සංවර්ධන ක්‍රියාදාමයක් ක්‍රියාත්මක නොවීමත් මදුරුවන් බෝවීමට හේතුවක් වී ඇති බවයි.

‘’හරිත නගර සංකල්පය නාගරික සංවර්ධනයේදී සැලසුම විය යුතුයි. සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා ගහ කොළ කැපීමෙන් කුරුල්ලන්ගේ වාසස්ථාන උන්ට අහිමි වෙලා තියනවා.එය මදුරු උවදුරට හේතුවක්’’ සුගත් චන්ද්‍රසේන පැහැදිලි කළේය.

‘’ජලය ආශ්‍රිත සත්තු ගොඩාක් ඉන්නවා, අද ඒ සතුන් දකින්න නෑ. උදේ පටන් රෑ වෙන තුරුත් රෑ සිට එලිවෙනතුරුත් සිදුකරන වැලි ගොඩ දැමීම, පන්දම් පත්තු කරගෙන සිදු කරන එවැනි මානව ක්‍රියාකාරකම් පරිසරයට සතුන් අහිමි වීමට හේතුවක්. ‘’ සුගත් චන්ද්‍රසේන තම ස්ථාවරය අවධාරණය කරයි.

සිරකරු මෙහෙය

Image caption රත්නපුර නගරය ඩෙංගු මදුරුවාට බියෙන්

“ඩෙංගු මදුරු අවදානම අඩු කරන්න පාසලක් අවට මීටර් දෙසීයක වපසරියක් පිරිසිදුව පවත්වා ගැනීමේ අවශ්‍යතාවයක් පවතිනවා. ඒ පිළිවෙත අනුගමනය කළොත් රත්නපුර නගරයම ඉබේම පිරිසිදු වෙනවා. විසි දහසක් පමණ වූ දරුන්ගේ නෙත් පෑදීමේ කාර්යය සඳහා , ඩෙංගු මදුරුවා නිසා වසා දැමුණ ඉස්කෝල යළි විවෘත කිරීමට අවශ්‍ය පරිසර පිරිසිදු කිරිමේ කාර්යයේ අමාරුම කොටස සඳහා යොදා ගත්තේ සිරකරුවන්. නගරයේ අපවිත්‍රම කුණු කසල ඉවත් කලේ සිරකරුවන් විසින්”සුගත් චන්ද්‍රසේන පවසයි

එහෙත් මෙය දීර්ඝ කාලින විසඳුමක් නොවන බවත් ඔහු පෙන්වා දෙයි.

"ඉදි කිරීම් අංශයේ ‘ෂටලින්’ සහ පලංචි වලට ගනු ලබන උණ බම්බුවල වතුර පිරිලා මදුරුවෝ බෝ වෙනව නම් ඒවාට විකල්ප ක්‍රියා මාර්ග හඳුන්වා දීය යුතුයි.’’ සුගත් චන්ද්‍රසේන අවධාරණය කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර