දෙමළ ජාතික ජනතා පෙරමුණේ සංවිධායක අත්අඩංගුවේ

ගජෙන්ද්‍රන් කුමාර් පොන්නම්බලම්ගේ නායකත්වයෙන් යුත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ කිලිනොච්චිය ප්‍රධාන සංවිධායක තංගරාජ් ජෙගතීස්වරන් සිකුරාදා රාත්‍රී පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් කිලිනොච්චියේදී අත් අඩංගුවට ගෙන තිබේ.

එම පක්ෂයේ ලේකම් සෙල්වරාජා ගජෙන්ද්‍රන් කියා සිටියේ, යුද හමුදාව කිලිනොච්චියේ වැසියන්ට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීම සහ යුද්ධයෙන් විපතට පත් කිලිනොච්චියේ වැසියන් යළි පදිංචි කිරීම අවසන් කරණ ලෙසට රජයට බලකරමින් ලබන 26 වෙනිදා උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කිරීම මොහු අත් අඩංගුවට පත්වීමට හේතු වූ බවයි.

එම උද්ඝෝෂණය පැවත්වීමට අවසර ගැනීම පිණිස කිලිනොච්චිය පොලිස් ස්ථානාධිපතිවරයා වෙත ලිපියක් ලබා දීමෙන් පසුව ජෙගතීස්වරන් පොලීසියට කැදවා වහාම උද්ඝෝෂණය නතර කරණ ලෙස ඔහුට පොලීසිය බලකළ බවද ලේකම්වරයා පැවසුවේය.

ඉල්ලීම් දිනා ගැනීම

නමුත් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් තම වැසියන්ගේ ඉල්ලීම් දිනා ගැනීම පිණිස මෙම උද්ඝෝෂණය පවත්වන බව පොලීසියට දැණුම් දී ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

පසුව පොලිස් නිලධාරීන් පිරිසක් ජෙගතීස්වරන්ගේ නිවසට ගොස් ඔහුගේ මවට තර්ජනය කලේ යැයිද පක්ෂ ලේකම්වරයා කියා සිටියේය.

ඉකුත් 23 වෙනිදා රාත්‍රී ජෙගතීස්වරන්ගේ නිවසට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් ඔහු අත් අඩංගුවට ගෙන රැගෙන ගොස් ඇති අතර දැනට වවුනියාව පොලිසියේ ත්‍රස්තමර්දන ඒකකයේ රදවාගෙන සිටින බවට තොරතුරු ඇති බවයි ඔහු පැවසුවේ.

තමන් එම නිවසට ගිය අවස්ථාවේදී ජෙගතීස්වරන් අත් අඩංගුවට ගත් බව සනාථ කරමින් පොලිස් ත්‍රස්තමර්දන ඒකකය මගින් නිවසේ වැසියන්ට ලබාදුන් ලිපිය දැකගැනීමට හැකි වූ බවද දෙමළ ජාතික ජනතා පෙරමුණේ ලේකම් සෙල්වරාජා ගජේන්ද්‍රන් පැවසුවේය.

බුද්ධි අංශ සාමාජිකයෙක්

Image caption පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ

මේ පිළිබදව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණගෙන් තොරතුරු විමසූ විට ඔහු කියා සිටියේ අත් අඩංගුවට ගත් තැනැත්තා යුද සමයේදී එල්.ටී.ටී.ඊ.සංවිධානයේ බුද්ධි අංශයේ සාමජිකයෙකු ලෙස කටයුතු කරමින් වවුනියාව රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි ආරක්ෂක අංශ සාමාජිකයින් ගැන තොරතුරු රැස් කළ බවයි.

මේ වනවිට ඔහු එල්.ටී.ටී.ඊ.සංවිධානයට යළි පණදීමේ ව්‍යාපාරයට එක්වෙමින් බුද්ධි අංශ සාමාජිකයෙකු ලෙස ක්‍රියා කරණ බවට ලද තොරතුරක් මත ත්‍රස් තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගෙන දැනට වවුනියාව පොලීසියේ රදවා ගෙන සිටින්නේ යැයි කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා ඉතාම ඉක්මනින් සැකකරු කොළඹට රැගෙන ඒමට පියවර ගන්නා බවද කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර