එල්ටීටීඊ සැකකරුවන් පිටුවහල් කරනවා - මැලේසියාව

Image copyright AFP

මීට දින කිහිපයකට ඉහතදී අත් අඩංගුවට ගනු ලැබූ එල්ටීටීඊ සැකකරුවන් තිදෙනා ඉතා ඉක්මනින්ම ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට ඉඩ තිබෙන බව මැලේසියානු පොලිසිය පවසයි.

පොලිසියේ ත්‍රස්ත විරෝධී ඒකකය විසින් එල්ටීටීඊ සැකකරුවන් තිදෙනකු පසුගිය මැයි 15 වැනි දින අත් අඩංගුවට ගත් බව සනාථ කළ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්, වසර ගණනාවක් ඔවුන් මැලේසියාවේ රැඳී තිබෙන්නේ නීති විරෝධී ලෙසින් බවද සඳහන් කළේය.

මැලේසියාවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා ඒ බව කියා සිටියේ, බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී.

'ඉහල පෙලේ නායකයන්'

"ඔවුන් නීති විරෝධී ලෙසින් මැලේසියාවේ රැඳී හිටපු බවට අපි සනාථ කරගෙන තියෙනවා. එක් කෙනෙක් 2004 ඉඳල මේ රටේ ඉඳල තියෙන්නේ වලංගු වීසා බලපත්‍රයක් නැතිව. තවත් කෙනෙක් 2009 ඉඳල," යනුවෙන්ද සිය නම හෙළි නොකරන මෙන් ඉල්ලා සිටි පොලිස් නිලධාරියා පැවසීය.

අත් අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙනා කොටි සංවිධානයේ හිටපු ඉහල පෙලේ නායකයන් බව මැලේසියානු පොලිසියේ විශ්වාසයයි.

"මැලේසියාවේ ඉඳගෙන, යුරෝපය ඇතුලු වෙනත් රටවල ඔවුන්ගේ සම්බන්ධතා හරහා ඔවුන් යලිත් එල්ටීටීඊය පණ ගන්වන්න උත්සාහ දරපු බවට අපිට හෙළිවෙලා තියෙනවා," බවද පොලිස් නිලධාරියා සඳහන් කළේය.

සැකකරුවන් තිදෙනා කොටි සංවිධානය වෙනුවෙන් අරමුදල් රැස් කිරීම, ප්‍රචාරක කටයුතු වැනි ක්‍රියාවල නිරත වී ඇති බවද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා සංදේශයට පැවසීය.

සංක්‍රමණික පනත යටතේ ඔවුන් අත් අඩංගුවට ගනු ලැබීම පිළිබඳව මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කොට තිබෙන බව සඳහන් කළ ඔහු, සැකකරුවන් පිරිස ඉතා ඉක්මනින්ම ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට ඉඩ තිබෙන බවත් කියා සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර