ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘සාධාරණ පරීක්ෂණයක් නැත්නම් ජාත්‍යන්තරයට යනවා’

මත්තල ගුවන් තොටුපොල නිරීක්ෂණයට ගිය සිය මන්ත්‍රීවරුන්ට එල්ල වූ ප්‍රහාරය ගැන රට තුල සාධාරණ පරීක්ෂණයක් පවත්වන්නේ නැත්නම් ජාත්‍යන්තර ආයතන වලට පැමිණිලි කිරීමට සිදු වන බව එක්සත් ජාතික පක්ෂය කියා සිටියි.

මත්තල පහර දීම පිළිබඳව සිදු කෙරෙන පොලිස් පරීක්ෂණවල ප්‍රගතිය විමසීම සඳහා අද සඳුදා පෙරවරුවේ පොලිස්පතිවරයා හමු වී සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි එක්සත් ජාතික පක්ෂ මහා ලේකම් තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා එම ප්‍රකාශය කළේ.

මත්තල පහර දීමට අදාළ පරීක්ෂණ අවසන් කොට සමථ මණ්ඩලය වෙත යොමුකර ඇති බවයි හම්බන්තොට පොලිසිය ප්‍රකාශ කරන්නේ.

එහෙත් අදාළ පරීක්ෂණ පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන බව දැන් පොලිස්පතිවරයා ප්‍රකාශ කිරීම මගින් පරීක්ෂණ සිදු කරන ආකාරය සම්බන්ධයෙන් පරස්පර තත්වයක් හා දැඩි සැකයක් එමගින් මතු වී ඇති බවයි තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා,පෙන්වා දෙන්නේ.

සැකයක්

‘’අපි තවදුරටත් විශ්වාසය තබනවා , පොලිසිය සාධාරණ පරීක්ෂණයක් පවත්වාවි කියලා. එසේ නොකළොත් අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය වැනි ආයතන වලට පැමිණිලි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.’’ තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පවසයි.

පොලිසියේ ක්‍රියා කලාපය දෙස දැඩි අවධානයකින් සිටින බවයි, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා තව දුරටත් අදහස් දක්වමින් සඳහන් කළේ.

එහෙත් එක්සත් ජාතික පක්‍ෂයේ ඉහත කී චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ ප්‍රකාශ කරන්නේ.

“මේ පරීක්ෂණයට අදාළව අපි නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබෙනවා. එම උපදෙස්වලට අනුව ප්‍රමාණවත් සාක්‍ෂි ඇති සෑම පුද්ගලයකුට ම එරෙහිව අපි තරාතිරම නො බලා පියවර ගන්නවා” පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි අජිත් රෝහණ පවසයි.

ප්‍රධාන සැකකරු නිදැල්ලේ

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා බීබීසියට අදහස් දක්වමින්, ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම පිළිබඳව විමසූ විට පොලිස්පතිවරයා පැහැදිලි පිළිතුරක් නොදුන් බවයි කියා සිටියේ.

“ප්‍රධාන සැකකරු තවම අත්අඩංගුවට ගෙන නැහැ. අපි නම් ලබා දුන් සැකකරුවන් නිතිය ඉදිරියට ගෙන ඒමට පොලිසිය තවම අසමත් වී තිබෙනවා. පොලිසිය මේ ආකාරයෙන් කටයුතු කරන්නේ ඔවුන්ට එල්ල වෙන බලපෑම් හේතුවෙන්” අජිත් පෙරේරා මන්ත්‍රීවරයා චෝදනා කරයි.