ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ගෝඨාභයගේ නඩුව වාර්තා කිරීම 'ආරක්ෂාවට තර්ජනයක්'

සන්ඩේ ලීඩර් පුවත්පතට එරෙහිව පවරා තිබෙන නඩුවේදී සාක්ෂි දීම සඳහා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට පැමිණි අවස්ථාව වාර්තා කිරීමට උත්සාහ කළ මාධ්‍යවේදීන්ට පොලිසියෙන් බාධා එල්ල විය.

එය වීඩියෝගත කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවයි, අධිකරණ භූමියේ සිටි පොලිස් නිලධාරීන් මාධ්‍යවේදීන්ට කියා සිටියේ.

යුද සමයේදී යුක්රේනයෙන් මිග් ප්‍රහාරක යානා මිලදී ගැනීමේදී බරපතල වංචාවක් සිදුවී ඇති බවට සන්ඩේ ලීඩර් පුවත්පත පළ කළ වාර්තාවක් මගින් තමන්ට අපහාසයක් සිදුවූ බව පවසමින් ආරක්ෂක ලේකම්වරයා විසින් මෙම නඩුව පවරා තිබේ.

'පැමිණිල්ලක් නෑ'

සන්ඩේ ලීඩර් පුවත්පත වෙනුවෙන් පෙනී සිටින නීතිවේදී එම්ඒ සුමන්තිරන් අඟහරුවාදා ගෝඨාභය රාජපක්ෂගෙන් හරස් ප්‍රශ්න නැගූ අතර එය වාර්තා කිරීමටද මාධ්‍යවේදීන්ට අවසර නොලැබිණ.

ආරක්ෂක ලේකම්වරයා අධිකරණයට පැමිණි අවස්ථාව වාර්තා කීරීමට පොලිසිය බාධා කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තමන්ට හෝ කිසිදු පොලිසියකට පැමිණිල්ලක් ලැබී නැති බවයි, සංදේශය කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ.

කෙසේ නමුත් විශේෂයෙන්ම එල්ටීටීඊ සංවිධානය යලි සංවිධානගතවීමේ උත්සාහයක් පවතින මොහොතක ආරක්ෂක ලේකම්වරයා ගමන් කරන මෝටර් රථය, එහි වර්ණය හෝ වෙනත් ලකුණු හඳුනා ගැනීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීමට ඉඩ තිබෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සංදේශයට පැවසීය.

එහෙත් ආරක්ෂක ලේකම්වරයාගේ ගමන් බිමන් වාර්තා කිරීම තහනම් කිරීමට කිසිදු නීතිමය විධිවිධානයක් නැති බව ඔහු පිළිගත්තේය.