ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට රත්තරන් යන ජාවාරමක්

Image caption ශ්‍රී ලංකා රේගුවේ නීති අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී

ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට රත්තරන් ගෙන යාමේ ජාවාරමක් පවතින බව ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කරයි.

මෙම වසරේ මුල් මාස හතර තුළ දී කටුනායක ගුවන් තොටුපලේ දී පමණක් රුපියල් කොටි 15ක් පමණ වටිනා රත්තරන් කිලෝ 37ක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන්දියාවේ රත්තරන් මිල සමග සැසඳීමේ දී ශ්‍රී ලංකාවේ රත්තරන් මිල අඩු වීම නිසා මෙම ජාවාරම සිදු වන බව ශ්‍රී ලංකා රේගුව තව දුරටත් ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා රේගුවේ නීති අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී බීබීසීය සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ 2011, 2012, 2013 සහ මෙම වසරේ මුල් භාගය සංසන්දනය කිරීමේ දී ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට නීති විරෝධි ව රන් හා ස්වර්‍ණාභරණ ගෙන යාමේ ප්‍රවණතාවක් ඇති බවයි.

අහිංසක අතරමැදියන්

ජාවාරම් කරුවන් විසින් සුළු මුදලක් ලබා දී අහිංසක අතරමැදි පුද්ගලයන් යොදාගැනීම නිසා සැබෑ ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීම අපහසු වී ඇති බව ඔහු තව දුරටත් පෙන්වා දුන්නේය.

Image copyright Deepa Adhikari
Image caption ශරීරය තුළ රන් සඟවා ගෙන යන අවස්ථා බහුල වී ඇති බව

ශරීරය තුළ රන් සඟවා ගෙන යන අවස්ථා බහුල වී ඇති බව පවසන රේගු අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණී, ශරීර පරික්ෂාවට කටුනායක ගුවන් තොටුපළේ විශේෂිත උපකරණ නොමැති වුවත් තම නිලධාරීන්ගේ දක්ෂතා හේතුවෙන් එවන් අවස්ථා හඳුනා ගැනීමට රේගුවට හැකි වී තිබෙන බව පවසයි.

මෙලෙස ශ්‍රී ලංකා රේගුව රන් ජාවාරමේ යෙදෙන්නන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගනු ලැබුවත්, ඉන්දියාවේ ගුවන් තොටුපළ වල දී ද ශ්‍රී ලංකාවෙන් රන් රැගෙන ගිය පුද්ගලයන් විශාල ලෙස අත්අඩංගුවට පත් වන බව වාර්තා වේ.

මෙමගින් පෙන්නුම් කරන්නේ රේගුවේ දෑසින් මිදී ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ගුවන් මගින් රන් ගෙන යාමේ අවස්ථා නොවේ දැයි සන්දේශය කළ විමසීමකට පිළිතුරු දෙමින් රේගු අධ්‍යක්ෂ ලෙස්ලි ගාමිණී පැවසුවේ තම රාජකාරිය රන් ජාවාරම් කරුවන් හඳුනා ගැනීමට පමණක් සීමා නොවන නිසා යම් අවස්ථා වල දී තම නිලධාරීන් මග හැර යන ජාවාරම් කරුවන් සිටිය හැකි බවයි.

මුහුදු බඩ මාර්ග වලින් ද මෙම ජාවාරම සිදු විය හැකි නිසා, දිවයින පුරා ඇති රේගු කාර්යාල ඒ පිළිබඳව විමසිලිමත් ව සිටින බව පැවසූ රේගු අධ්‍යක්ෂවරයා මේ සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් සමග සාකච්ඡා කර ජාවාරමට සම්බන්ධ සැබෑ ජාවාරම් කරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පැවසීය

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර