අපේ වැටුප් ගෙවන්න - ආබාධිත සෙබළු ඉල්ලති

යුද්ධයෙන් ආබාධිත වූ හමුදා සෙබළුන්ට විශ්‍රාම වයස එළඹෙන තෙක් මාසික වැටුප් නොගෙවීමට ආණ්ඩුව ගෙන තිබෙන තීරණයට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල නිරාකරණය කර ගැනීම පිණිස අභියාචනාධිකරණය ආණ්ඩුවට කල් ලබා දුන්නේය.

මාසික වැටුප් අහිමි ආබාධිත සෙබළුන් 292 දෙනකු විසින් ඉදිරිපත් කරනු ලැබ තිබෙන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි, අධිකරණය එම නියෝගය කළේ.

යුද හමුදා නීති ප්‍රතිපාදන වලට අනුව සෙබලකු ආබාධිත වූ විට ඔහුට වයස අවුරුදු 55 දී විශ්‍රාම වැටුප හිමි වනතෙක් මාසික වැටුප් හා දීමනා ගෙවිය යුතු බව පෙත්සම්කරුවන්ගේ තර්කයයි.

එහෙත් යුද්ධයෙන් ආබාධිතවූ තමන්ට මාසික වැටුප් ගෙවීම හමුදා බලධාරීන් විසින් නතර කරනු ලැබ ඇති බව ආබාධිත සෙබළකු වන පීවීඑස් ශාන්ත බීබීසී සංදේශයට පැවසීය.

'කොටසකට පමණයි'

"විශ්‍රාම වැටුප එළඹෙන තෙක් අපට මාසික වැටුප් ගෙවිය යුතුයි. එහෙත් අපට එවැනි ගෙවීමක් කරන්නේ නැහැ. අපට වෙනත් රස්සාවක් කරන්න බැහැ. ඒ නිසා අධිකරණයෙන් අපට සාධාරණයක් ඉටු වේවි කියා බලාපොරොත්තු වෙනවා," යනුවෙන්ද ඔහු පැවසීය.

මුල සිටම යුද්ධයට සහභාගි වූ අබාධිත සෙබළුන්ට පමණක් මෙම අසාධාරණයට එරෙහිව මුහුණ දීමට සිදුවී ඇති බව තවත් සෙබළකු චෝදනා කළේය.

"මුල සිටම යුද්ධයට හවුල් වූ අයට තමා මේ අසාධාරණය සිදුවී තිබෙන්නේ. යුද්ධය අවසාන වීමෙන් පසුව ආබාධිත වූ සෙබළුනට මාසික වැටුප් ගෙවනවා," යනුවෙන් සඳහන් කළ ඔහු තම ගැටලුවට ජනාධිපතිවරයා සාධාරණ විසදුමක් ලබා දෙනු ඇතැයි විශ්වාස කරන බවද කියා සිටියේය.

සිකුරාදා අදාළ පෙත්සම කැඳවූ අවස්ථාවේ කරුණු දැක්වූ වගඋත්තරකාර යුද හමුදාපති වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා මෙම ගැටලුව සමතයකට පත්කිරීමට හැකියාව පවතින බැවින් ඊට කල් ලබාදෙන මෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව පෙත්සම් විභාගය ලබන ජුලි මස 08 වනදාට කල් තැබූ අධිකරණය එදිනට මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන ලෙස යුද හමුදාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියාට නියම කළේය.

මෙම ගැටලුවට මුහුණ දී සිටින ආබාධිත සෙබළුන් 6000 කට ආසන්න සංඛ්‍යාවක් දිවයින පුරා සිටින බැවින් මෙම නඩුවේ තීන්දුව ඔවුන්ට ඉතා වැදගත් වනු ඇති බවද පෙත්සම්කාර හමුදා සෙබළු පවසති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර