ඉරණමඩු ජලය හැරවීමේ ව්‍යාපෘතිය කල් දැමේ

Image caption උතුරු පළාත් සභාවේ තීරණයට කිලිනොච්චි ගොවීන්ගේ ප්‍රසාදය

කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ ජලය පානීය ජලය වශයෙන් යාපනයට ගෙනයාමේ ව්‍යාපෘතිය කල් දැමීමට තීරණය කළ බව බලධාරීහු පවසති.

ගොවීන්ගේ දැඩි විරෝධය එල්ලවීම හේතුවෙන් ව්‍යාපෘතියේ සඳහන් කරුණු කිහිපයක් වෙනස් කරණ මෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉල්ලා සිටීමටත්, එතෙක් එය කළ දැමීමටත් තීරණය කළ බවයි උතුරු පළාතේ කෘෂිකර්ම අමාත්‍ය එස් අයින්කරනේෂන් බීබීසී සංදේශයට කියා සිටියේ.

රුපියල් බිලියන 20 ක් වැනි විශාල මුදලක් මෙම ව්‍යාපෘතිය වෙණුවෙන් වැය කිරීමට ආසියානු සංවර්ධන බැංකුව සූදානම් වූ අතර උතුරු පළාත් සභාව එම ව්‍යාපෘතිය ඉතා කඩිනමින් දියත් කිරීමට පියවර ගනු ලැබුවේ තවත් ප්‍රමාද වුවහොත් වෙන්කළ මුදල ආපසු යාමට ඉඩ ඇති බව ආසියානු සංවර්ධන බැංකුව දැන්වූ නිසා බවද පළාත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

තමන් යාපනයේ වැසියන්ට පානීය ජලය සපයාදීමේ වැඩපිලිවෙලට කිසිසේත්ම විරුද්ධ නොමැති බව කිලිනොච්චියේ ගොවීහු පවසති.

කිලිනොච්චියේ ඉරණමඩු ජලාශය සංවර්ධනය කොට ගොවීන්ට වගා කටයුතු සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය ලබාදී ඉතිරි ජලය යාපනයට රැගෙන යාම තමන් අනුමත කරණ බවයි, ඔවුන් පෙන්වාදෙන්නේ.

නමුත් දැනට ජලාශය පවතින තත්වයේම සිට එම ක්‍රියාදාමය අනුගමනය කළහොත් ප්‍රමාණවත් ජලයක් නොමැති හෙයින් යාපනයේ වැසියනුත් කිලිනොච්චියේ ගොවීනුත් යන දෙපිරිසම අසීරු තත්වයකට පත්වනු දැකීමට තමන් අකමැති බවද කිලිනොච්චියේ ගොවීහු පවසති.

එබැවින් එය කල් දැමීමට උතුරු පළාත් සභාව ගෙන තිබෙන තීරණයට ඔවුහු සිය ප්‍රසාදය පල කොට සිටිති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර