ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ධීවරයෝ කිඹුල් දූපත වටලති

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ නිෂ්පාදනය කෙරෙන විදුලිය එහි තෙවන අදියරේ දී අනුරාධපුරය දක්වා ගෙන යාමට නියමිතයි.

ඒ සඳහා ඉදි කෙරෙන විදුලි රැහැන් පද්ධතියේ විදුලි කණු කලපුවේ ඉදිකිරීමට විරෝධය පල කරමින් පුත්තලම කළපු ධීවරයන් පුත්තලම කිබුල් දුපත වටලනු ලැබුවේ නාවික හමුදා අණ නොතකමින්.

Image caption පුත්තලම කිබුල් දුපත වටලනු ලැබුවේ නාවික හමුදා අණ නොතකමින්

දුපත තුල කිසි යම් ඉදිකිරීමේ කටයුත්තක් ආරම්භ කර ඇති බව පවසන මොහිදීන් පිච්චෙ සමියුර්දීන් ‘කලපුව හරහා විශාල කුලුණු ඉදි කරලා ඒ හරහා විදුලි රැහැන් දැමීමෙන් අපට විශාල තර්ජනයක් මතු වෙනවා අපේ රැකියාව කරන්න. වෙනත් විකල්ප මාර්ගයක් නොමැති නම් අපි ඉඩ දෙනවා, මේ කලපුව හරහා කෙරෙන ඉදිකිරීම වලට’ යයි පැවසූ අතර රැහැන් ඇදීමට කලපුව හැර වෙනත් විකල්ප මාර්ග ඕනෑ තරම් තියෙන බවයි වැඩි දුරටත් කියා සිටියේ.

ධීවර විරෝධය

වසර දෙක හමාරක පමණ කාලයක සිට පුත්තලම කලපුව තුල විදුලි කුලුණු ඉදිකිරීමට ධීවරයන් විරෝධය දැක්වූ නමුත් එම විරෝධතා නොසලකා හරිමින් රාජ්‍ය බලය යොදා ගනිමින් ධීවරයන් මර්දනය කිරීමට කටයුතු කරන බවට ධීවර මොහිදීන් පිච්චෙ සමියුර්දීන් ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයට චෝදනා කරයි.

ඇතිවී තිබෙන තත්වය පිළිබඳ විසඳුම් ලබා දෙන මෙන් අදාළ බලධාරීන්ගෙන් කොතරම් ඉල්ලීම් කලත් කිසිවෙක් ඒ සඳහා ඉදිරිපත් නොවන බවත් ධීවර මොහිදීන් පිච්චෙ කියා සිටියි.

කළු කොඩි ගෙන බෝට්ටු වල නැගුන ධීවරයන් දුපත වටලන අවස්ථාවේ නාවික හමුදා නිළධාරීන් දුපතට ඇතුළු නොවන ලෙස ධිවරයනට නියෝග කළ බවයි පැවසෙන්නේ.

එම අවස්ථාවේ දූපත අවට නාවික හමුදාවට අයත් යාත්‍රා දහයක් රදවා තිබී ඇති අතර එම යාත්‍රාවක සිට පැමිණි කල්පිටිය විජය නාවික හමුදා කදවූරේ අණදෙන නිලධාරියා ධීවරයන්ට පවසා ඇත්තේ දුපතෙන් වහාම ඉවත් වන ලෙසයි.

යම් කිසි ප්‍රශ්නයක් තිබේ නම් එය ගොඩ බිමට ගොස් නිරාකරණය කර ගන්නා ලෙසයි එහි දී නාවික හමුදා නිලධාරියා පවසා ඇත්තේ.

ගැටුම්කාරී තත්වයක්

ධීවරයන් පැය දෙක හාමාරක පමණ කාලයක් විරෝධතාවයේ නිරතව ගොඩබිමට පැමිණ ඇති අතර එහිදී නැවත ගැටුම්කාරී තත්වයක් ඇති වූ බවයි පැවසෙන්නේ.

ධීවරයන්ට ආධාර කිරීම සදහා පැමිණි රජයේ නිලධාරීන් දෙදෙනෙකු එම අවස්ථාවේ ක්‍රියා කළ ආකාරය එම ගැටුම්කාරී තත්වයට පසුබිම් වූ බව සඳහන්.

එම අවස්ථාවට පැමිණි පුත්තලම නගරාධිපති කේ .ඒ .බායිස් හට ධීවරයන්ගේ දැඩි විරෝධය එල්ල වී ඇති අතර ධිවර විරෝධතා හමුවේ නගරාධිපතිවරයාට එම ස්ථානයෙන් ඉවත් වීමට සිදු වී ඇත.

වසර තුනකට පෙර කලපුව තුල විදුලි කුලුණු ඉදි කිරීම සඳහා පාරිසරික වාර්තා ලබා ගෙන ඇති බවයි ඒ පිළිබඳ අදහස් දැක්වූ ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති ඩබ්ලිව් .බි.ගනේගල කියා සිටියේ.

කුලුණු ඉදිකිරීම නිසා ධීවරයන්ට කිසිදු ආකාරයේ ගැටලුවක් සිදු නොවන බව කියා සිටි ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ඉදිරියේ දී ධීවරයන්ට ආධාර කිරීමට බලාපොරොත්තු වන බවත් වැඩි දුරටත් පවසා සිටියේය.