ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හොල්සිම් සේවකයන්ට මැර ප්‍රහාරයක්

සේවයේ ස්ථිර කිරීම ඇතුළු ඉල්ලීම් දොළහක් මුල් කර ගනිමින් වැඩ වර්ජනයක නිරතවී සිටි පුත්තලම හොල්සිම් සමාගමේ සේවකයන්ට මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඉරිදා රාත්‍රියේ එල්ලවූ මැර ප්‍රහාරයෙන් තුවාල ලැබූ පස් දෙනකු මේ වන විට පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර ඇති අතර වයස අවුරුදු දෙකහමාරක කුඩා දැරියකද ඒ අතර සිටියි.

මැර කණ්ඩායමක් සමග පැමිණි පුත්තලම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී රදික සංජිව පැදුරේ නිදා සිටි තම දියණිය පැදුරත් සමග අල්ලා විසි කළ බව එම දැරියගේ මව පවසයි.

පුත්තලම මුලික රෝහලේ ප්‍රතිකාර ලබන නිශාන්ත ගමගේ කියා සිටියේ හිසට එල්ල වූ කඩු පහර නතර කිරීමට කඩුව ඇල්ලීමට යාමේදී අත් දෙකම කැපුණු බවයි. එම සිවු දෙනාගේම කැපුම් තුවාල දක්නට ලැබුණි.

තමන් කිසිවෙකුට පහර නොදුන් බව පවසන පුත්තලම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී රදික සංජිව සුළු සිදුවීම් කිහිපයක් ඇති වූ බව පිළි ගත්තේය. සඳුදා සිට නැවතත් හොල්සිම් සමාගමේ වැඩ ආරම්භ කළ බවද රදික සංජිව මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඊයේ රාත්‍රියේ සිදුවූ ක්‍රියාවන් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති බව කියා සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සැකකරුවන් අත්අඩංගුවට ගන්න බවද සඳහන් කළේය.