ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අලි පැටවා පැහැර ගැනීම: සැකකරුවන් 'හඳුනාගෙන නෑ'

උඩවලවේ දී අලි පැටවකු පැහැර ගැනීමට තැත් කළ සිදුවීම වාර්තා කළ මාධ්‍යවේදී මහින්ද පුෂ්පකුමාර තේරසිංහ පැහැර ගෙන ඔහුගේ වීඩියෝ පටය උදුරා ගැනීමේ සිදුවීමට මාසයක් ගත වීත් ඒ සම්බන්ධ පරීක්ෂණවල කිසිදු ප්‍රගතියක් නොමැතිවීම පිළිබඳව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිසිය දැඩි විවේචනයට ලක් කරයි.

කිසියම් ලෙසකින් ප්‍රදේශවාසීන් එම ස්ථානයට රැස් නොවූයේ නම් මහින්ද පුෂ්පකුමාරට ලසන්ත වික්‍රමතුංග හෝ ප්‍රගීත් එක්නැලිගොඩට අත් වූ ඉරණම හිමි වීමට ඉඩ තිබුණු බවද එම ව්‍යාපාරයේ ලේකම් සුනිල් ජයසේකර සංදේශයට පැවසීය.

Image copyright Mahinda Pushpakumara
Image caption තමන් සතුව තිබෙන එකම සාක්ෂිය වාහනයක අංකයක් පමණක් බව පොලිසිය පවසයි

මෙය ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන්ට මුහුණදීමට සිදු වී තිබෙන වාතාවරණයේ තවත් දිගුවක් බව ඔහුගේ අදහසයි.

තමා පැහැර ගත් පිරිස පැමිණි වාහනයේ අංකය ඇතුළු තොරතුරු සමඟ මාධ්‍යවේදියා පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ නමුත් ඒ පිළිබඳව නිසි විමර්ශනයක් පවත්වා නැති බව වලව මිටියාවත ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

'ජනාධිපතිගේ ඥාතියෙක්'

තමා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහෝදරියකගේ පුත්‍රයා බව පවසමින් පැහැරගත් පිරිස අතර සිටි පුද්ගලයකු තර්ජනය කළ බවද මාධ්‍යවේදියාගේ පැමිණිල්ලේ සඳහන්.

මාධ්‍යවේදියා පැහැර ගැනීම සහ අලි පැටවා පැහැර ගැනීමට තැත් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකුත් අත් අඩංගුවට ගෙන නැති බව පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සංදේශය කළ විමසීමකදී පිළිගත්තේය.

ඒ පිළිබඳ තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බව පවසන ඔහු, රාජකාරිය පැහැර හැරීමේ චෝදනා සම්බන්ධයෙන් එහි සිටි පොලිස් නිලධාරීන්ට එරෙහි විනය පරීක්ෂණයද තවමත් අවසාන වී නැති බවද කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ ඥාතියකු බව පවසන පුද්ගලයකුටද චෝදනා එල්ල වී ඇති බැවින් පරීක්ෂණ නොපවත්වන බවට මාධ්‍ය සංවිධාන එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ, තරාතිරම නොබලා සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට ක්‍රියා කරන බවද සංදේශයට පැවසීය.

බීබීසී සංදේශය විසින් කරන ලද අනාවරණයකින් අනතුරුව නිට්ටඹුවේ සුරංග පීරිස් තරුණ දේශපාලනඥයා ඝාතනය කිරීමේ චෝදනා ලබා සිටින සැකකරුවකු වසර තුනකට පසුව අත් අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කිරීම එයට හොඳම උදාහරණයක් බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සඳහන් කළේය.