ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'පුතා මගේ අතේම හුස්ම හෙලුවා'

ඇහැලියගොඩ දී තාප්පයකට යට වී මියගිය 16 හැවිරිදි පාසල් ශිෂ්‍ය විතුම් කුමාරගේ පියා, සිය පුතා මියගිය ආකාරය හැඟීම්බරව විස්තර කළේ එලෙසින්.

කළුතර, කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවකට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් විසි දෙදෙනකුවත් මරුමුවට පත් වී තිබෙන බව බලධාරීහු පවසති.

තවත් අට දෙනකුවත් තුවාල ලබා සිටින බවද ආපදා කළමනාකරණ කටයුතු භාර අමාත්‍ය මහින්ද අමරවීර මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේය.

ඇමතිවරයා දක්වන සංඛ්‍යාලේඛන අනුව තවත් 27,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටින අතර, නිවාස 72 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

විපතට පත්වූවන්ට සහන සැලසීම පිණිස අවශ්‍ය තරම් මූල්‍ය ප්‍රතිපාදන මීට කලින්ම දිසාපතිවරුන්ට ලබා දී තිබෙන බව පවසන අමාත්‍ය මහින්ද අමරවීර, මියගිය අය වෙනුවෙන් රුපියල් 15,000 ක වන්දියක් ප්‍රදානය කරන බවද නිවේදනය කළේය.

තම නිවාස කඩා වැටීම නිසා ඇති වූ අනතුරුවලින් කිහිප දෙනකු මියගොස් ඇති අතර, ජල ගැලීම් හා නායයෑම් තවත් මරණ බොහොමයකට හේතු වී තිබේ.

ඉදිරියටත් ධාරානිපාත වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ අතර අනතුරු අඟවයි.

විශේෂයෙන්ම ඉදිරි දින කිහිපය තුල ශ්‍රී ලංකාවේ නිරිතදිග ප්‍රදේශයේ ගිගිරුම් සහිත වැසි හටගනු ඇති බවත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල පැවසීය.

අයහපත් කාලගුණය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේද ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කොට තිබෙන අතර, දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අඩකට වැඩි ප්‍රමාණයකට අයහපත් කාලගුණය බලපා තිබෙන බවද දිසාපතිවරයා පවසයි.