ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දෙමළ ඊළාමය ගැන ජනමත විචාරණයක් - ජයලලිතා

  • 2014 ජුනි 3

ශ්‍රී ලංකාවේ සිදුවූ බවට චෝදනා කෙරෙන ජන සංහාරයට වගකිවයුත්තන්ට එරෙහි යෝජනාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කරන මෙන් තමිල්නාඩුවේ මහ ඇමතිනී ජෙයරාම් ජයලලිතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගෙන් ඉල්ලීමක් කරයි.

මහ ඇමතිවරිය එම ඉල්ලීම කළේ අඟහරුවාදා දිල්ලි අගනුවර දී ඉන්දීය අගමැතිවරයා හමු වූ අවස්ථාවේ දී.

දෙමළ ඊලාම් වෙනම රාජ්‍යයක් පිහිටුවීම පිණිස ශ්‍රී ලංකාවේ සහ විදේශගතව වෙසෙන දෙමළ ජාතිකයන්ගේ මතය විමසන ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට වගන්තියක් එම යෝජනාවට ඇතුලත් කරන මෙන් ද මහ ඇමතිවරිය ඉල්ලා සිටියි.

Image copyright pmindia.nic.in

පිටු 64කින් යුත් සංදේශයක් අග්‍රාමාත්‍යවරයාට භාර දුන් ජයලලිතා කච්චතිවු දූපත යළිත් ඉන්දියාවට පවරා ගෙන ඉන්දීය ධීවරයින්ගේ පාරම්පරික අයිතිය ආරක්ෂා කරන මෙන් ද අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

තමිල්නාඩුවට අදාළ ගංගා ජලය බෙදා ගැනීමේ ගැට‍ළුව සහ මුහුදු ජල පවිත්‍ර කරණය, අධ්‍යාපනය, ගමනාගමන වැනි ප්‍රශ්නවලට විසඳුම් සෙවීම ඇතුළු ඉල්ලීම් එම සංදේශයට ඇතුලත්.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජයලලිතා ඉදිරිපත් කොට තිබෙන ඉල්ලීම් ඇය විසින් මීට පෙර ඇය කොන්ග්‍රස් ආණ්ඩුවට ඉදිරිපත් කොට තිබේ.

"භාරතීය ජනතා පක්ෂය කිසිවකුගේත් සහයක් නැතිවයි ආණ්ඩුව පිහිටවල තියෙන්නේ. නමුත් ඉහල මන්ත්‍රී මණ්ඩලය වන රාජ්‍ය සභාවේ බීජේපීයට බහුතර බලයක් නැහැ. පොඩි නීති කෙටුම්පතක් හරි සම්මත කරන්න රාජ්‍ය සභාවේ අනුමැතිය අවශ්‍යයි. ඒ සඳහා ජයලලිතාගේ පක්ෂයේ සහාය අවශ්‍ය වෙන්න පුළුවන්," යනුවෙන් පීටීඅයි පුවත් සේවයේ විධායක කර්තෘ වීඑස් චන්ද්‍රසේකර් සංදේශයට කියා සිටියේය.

"නමුත් මේ ප්‍රාන්ත ආණ්ඩුවල පදයට මධ්‍යම ආණ්ඩුව නටයි ද කියන එකනම් මේ මොහොතේ කියන්න බැරි දෙයක්. දැනට තියන අනුමානයට අනුව මධ්‍යම ආණ්ඩුවේ විදේශීය ප්‍රතිපත්තිය වෙනස් වේවි කියල කියන්න අමාරුයි," යනුවෙන්ද ඔහු කියා සිටියේය.