ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'රතුපස්වල ජනතාව රැවටීමේ උත්සහයක්'

මත භේදයට තුඩුදුන් රතුපස්වල රබර් කර්මාන්ත ශාලාව ඉවත් කර ගන්නා බව රජය ප්‍රකාශ කරද්දී එම කර්මාන්ත ශාලාවේ නීතිවේදීන් පරස් පර අදහසක් ප්‍රකාශ කිරීම නිසා කම්හල වසා දමන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම තව දුරටත් විභාග කිරීමට අධිකරණය තීන්දු කළේය.

අදාළ පෙත්සම කැඳවූ අවස්ථාවේ රජයේ නීතිවෙදිනිය අධිකරණය හමුවේ කියා සිටියේ අදාළ කර්මාන්ත ශාලාව වසා දමා එය වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බවයි.

මේ තුලින් පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහනය ලැබී ඇති නිසා මේම පෙත්සම පවත්වාගෙන ගෙන යාමේ අවශ්‍යතාවක් මතු නොවන බවයි රජයේ නිතිවෙදිනිය වැඩිදුරටත් කියා සිටියේ.

‘කම්හල ඉවත්කරන්නේ නැහැ’

අදාල සමගම වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා කියා සිටියේ අදාළ කර්මාන්ත ශාලාවේ මෙහෙයුම් මේ වන විට අත්හිටුවා තිබුණ ද එය වෙනත් ස්ථානයකට රැගෙන යාමක් සිදු නොවන බවයි.

එහෙත් අදාළ කර්මාන්ත ශාලාව දැනට පිහිටුවා ඇති ස්ථානයේ ම වෙනත් කර්මාන්තයක් ආරම්භ කිරීම කෙරෙහි බාහිර පාර්ශවයක් සමග ගිවිසුමක් අත්සන් කිරීමට සුදානම් වන බව එම නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේය.

‘පරස්පරය සැකසහිතයි’

රජයේ සහ සමාගමේ ප්‍රකාශවල පවතින පරස්පරතාව සමග ඇතිවූ සැකය නිසා පෙත්සම තවදුරත් විභාග කරන මෙන් ඉල්ලා සිටි බවයි පෙත්සම්කාර පාර්ශවයේ නීතිවේදී රවීන්ද්‍රනාත් දාබරේ සංදේශයට කියා සිටියේ.

මෙම පරස්පරතාවය තුළ රතුපස්වල ජනතාව රැවටීමේ අරමුණක් ඇති බව පෙත්සම ගොනුකළ සියනෑ ජලය සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු ප්‍රමිත හෙට්ටිආරච්චි සංදේශයට පැවසීය.

‘’මේක රජය සහ සමාගම එක්ව අපේ පෙත්සම ඉල්ලා අස්කරවා ගැනීමට දරන උත්සාහයක් ලෙසයි අපි දකින්නේ. . ජනතාව මුලා කිරීමටයි ඔවුන් උත්සාහ කරන්නේ’ යනුවෙන් ඔහු පැවසීය.

ඔහු පවසන්නේ එවැනි උත්සාහයන් වලට ජනතාව හසු නොවන බවයි.

අනතුරුව පෙත්සම ජුලි මස 23 වනදාට කල්දැමූ අධිකරණය එදිනට මෙම කටයුතුවල ප්‍රගතිය වාර්තා කරන මෙන් රජයේ නිතිවෙදිනියට නියම කළේය.