ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රුහුණු විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ට මරණ තර්ජන

දැයට කිරුළ ප්‍රදර්ශනය රුහුණු විශ්ව විද්‍යාලයේ පැවැත්වීමට විරුද්ධ වූ රුහුණු විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ට ආණ්ඩුවේ මැරයන්ගෙන් මරණ තර්ජන එල්ල වී ඇති බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

පසුගිය සඳුදා ආණ්ඩුවේ දේශපාලනඥයන් විසින් මෙහෙය වූ බව පැවසෙන පිරිසක් රුහුණු විශ්වවිද්‍යාලයට කඩා වැදී ශිෂ්‍යන්ට පහරදීමත් සමඟ විශ්ව විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කෙරිණ.

ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් කොළඹ දී කැඳවා තිබුණු මාධ්‍ය හමුවකට එක්වුණු රුහුණු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උපුල් අබේරත්න, පසුගිය 29 වැනිදා සිට තමන්ට දුරකථන මාර්ග හා අනිකුත් සන්නිවේදන මාධ්‍ය ඔස්සේ මරණ තර්ජන එල්ල වෙමින් තිබෙන බව පැවසීය.

"දුරකතනවලින් මරණ තර්ජන එල්ල කරලා, යනකොට වාහන අංක සටහන් කරගෙන මරන්න සුදානම් වෙනවා. මේක මට විතරක් නෙවෙයි තියෙන්නේ. මේ දේ තියෙනවා ශිෂ්‍යයන්ටත්. සිදුවීම් දෙකම වෙනකොට මම විශ්ව විද්‍යාලයේ රාත්‍රී වෙනකම් හිටියා. වගකිවයුතු ආචාර්යවරයෙක් සහ දරුවෝ ඉන්න තාත්තා කෙනෙක් හැටියට මට බලාගෙන ඉන්න බැහැ ළමයින්ට ගහන එක," යනුවෙන්ද ඔහු පැවසීය.

සෙනෙට් සභාවේ සාකච්ඡා

සඳුදා ප්‍රහාරයෙන් පසුව තමන් විශ්ව විද්‍යාලයෙන් එලියට පැමිණීමට උත්සාහ කළ විට දැයට කිරුළට විරුද්ධව කතා කළ ආචාර්යවරයෙක් ලෙස හඳුනාගෙන මැරයන් තමන්ටද මැරයන් උත්සාහ කළ බවත් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උපුල් අබේරත්න පවසයි.

"සෙනෙට් සභාවේ කථාවෙන දේවල් මැරයන් දැනගන්න ආකාරයට අද විශ්ව විද්‍යාල දේශපාලනීකරණය වෙලා තියෙනවා. මගේ වාහනයට ගහන්න ආවා. මගේ වාහනේට කිහිප ස්ථානයකම අලාභ කරලා තියෙනවා."

මරණ තර්ජන එල්ලවී ඇති බව පවසන ආචාර්යවරුන්ගේ නම් ලැයිස්තුවක්ද මාධ්‍ය වෙත ඉදිරිපත් කෙරිණ.

"දැයට කිරුල වැඩසටහනට විරුද්ධව අදහස් දැක්වූ ආචාර්යවරුන් වැඩියෙන්ම විරුද්ධ වූ එක්කෙනාගේ ඉඳල අනුපිලිවෙලට මේකේ සඳහන් වෙලා තියෙනවා," යනුවෙන්ද ඔහු පැවසීය.

සිසුන්ට පහරදීමට වගකිවයුතු බව පැවසෙන නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය අමාත්‍යවරුන්ගේ දැඩි විවේචනයට ලක් වූ අතර, පහරදීමට සම්බන්ධ නොවූ බවටත් ඔහු එතැන රැඳී සිටියේ විනාඩි 15ක් පමණ කාලයක් බවට නියෝජ්‍ය අමාත්‍යවරයා කරන ප්‍රකාශය එහිදී සංදේශය ආචාර්යවරුන්ගේ අවධානයට යොමු කළේය.

'ඇමති වගකිව යුතුයි'

එය සම්පුර්ණයෙන් අසත්‍ය ප්‍රකාශයක් බව පවසන රුහුණු විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයකු වන උපාලි පන්නිලගේ, මෙම ප්‍රහාරයේ වගකීම සම්පුර්ණයෙන්ම සනත් ජයසුරිය නියෝජ්‍ය අමාත්‍යවරයා භාරගත යුතු බව අවධාරණය කරයි.

ආචාර්යවරුන්ට එල්ල වී තිබෙන මරණ තර්ජන සහ ශිෂ්‍යයන්ට එල්ල වූ ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් සංදේශය කළ විමසීමකදී කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ, ශිෂ්‍යයන්ට පහර දුන් බවට සහ ආචාර්යවරුන්ට මරණ තර්ජන තිබෙන බවට කිසිදු පැමිණිල්ලක් පොලිසියට ලැබී නොමැති බව පැවසීය.

"එකම පැමිණිල්ලක් විද්‍යුත් තැපෑලෙන් ලැබුනා විශ්ව විද්‍යාලේ ආචාර්යවරයෙකුගෙන්. ඒකෙ තිබුනේ වාහනයකට අලාභ කිරීමක් ගැන. ඒ ගැන පරීක්ෂණ සිදුවෙනවා. පහරදීම ගැන පරික්ෂා කරන්න පැමිණිලි ලැබෙන්න ඕනේ," යනුවෙන් ඔහු කියා සිටියේය.

පැමිණිලි ලැබුනහොත් ඒ පිළිබඳව විමර්ශනය කළ හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

මේ අතර වර්ජනය කරන විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට සත්ව නම් භාවිත කරමින් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්බී දිසානායක අපහාස කිරීම ආචාර්යවරුන්ගේ සම්මේලනයේ සභාපති චන්ද්‍රගුප්ත තේනුවරගේ දැඩි හෙලා දැකීමට ලක්විය.

ශිෂ්‍යයන් ප්‍රකෝපකරන වගකීම් විරහිත ප්‍රකාශවලින් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා වැළකිය යුතු බව විශ්ව විද්‍යාල ආචාර්යවරු අවධාරණය කරති.

මේ අතර මංගල සමරවීර මන්ත්‍රීවරයාගේ බාධා මධ්‍යයේ සිකුරාදා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ ශිෂ්‍යයන්ට හෝ ආචාර්යවරුන්ට කිසිදු ප්‍රහාරයක් එල්ල වී නැති බවයි.