ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

වැඩමුළුව නැවැත්වුවේ 'මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාවට'

  • 2014 ජුනි 8

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ මෙහෙයවීමෙන් පවත්වන ලද මාධ්‍ය වැඩමුළුවට ප්‍රහාරයක් එල්ල වූයේ නම් රාජ්‍ය නොවන සංවිධාන ශ්‍රී ලංකාවට එරෙහි ප්‍රචාරයක් ගෙන යාම පිණිස එය යොදා ගත හැකිව තිබුණු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කරයි.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඒ බව කියා සිටියේ මීගමුවේ පැවැත්වූ ගවේෂණශීලී මාධ්‍ය කලාව සම්බන්ධ වැඩමුළුව නවත්වන මෙන් පොලිසිය ඉල්ලා සිටීම සම්බන්ධයෙන් සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී.

මාධ්‍යවේදීන්ට එල්ල වන ප්‍රහාර සහ තර්ජන පිළිබඳව ශ්‍රී ලංකාවට ප්‍රබල විවේචන එල්ල වෙමින් තිබෙන සමයක මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව උදෙසා එය නැවැත්වීමට පොලිසිය පියවර ගන්නට ඇති බවද ඇමතිවරයා පැවසීය.

උතුරේ දෙමළ මාධ්‍යවේදීන් 14 දෙනකු සහභාගි වූ වැඩමුළුවට එරෙහිව විරෝධතා දියත් වී තිබෙන බැවින් මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහතික කළ නොහැකි බව සංවිධායකයන්ට පැවසූ පොලිසිය, එබැවින් වහාම එය නවත්වා හෝටලයෙන් ඉවත්ව යන මෙන් ඔවුන්ට දැනුම් දී තිබේ.

'බිහිසුණු රාත්‍රියක්'

පොලිසියේ ඉල්ලීම මත වැඩමුළුව අතරමග නවතා දමා කොළඹ ගලධාරි හෝටලයේ නවාතැන් ගත් නමුත් හෝටලයෙන් ඉවත්ව යන මෙන් මධ්‍යම රාත්‍රියේ හෝටල් පාලකයන් තමන්ගෙන් ඉල්ලා සිටි බව එහි දේශකයකු වූ ලංකාහෙරල්ඩ් වෙබ් අඩවියේ කර්තෘ ජයසිරි ජයසේකර සංදේශයට පැවසීය.

"ඇතිවෙච්ච කම්පනයත් එක්ක බොහෝ දෙනා නින්දට ගියා. මං හිතන්නේ ඇත්තටම පැයකට වඩා අඩු කාලයක් තමයි ඉන්න හම්බ වුනේ, රෑ දොළහමාරට විතර ඒගොල්ල දැනුම් දුන්න හෝටලෙන් වහාම පිටවෙන්න කියල මොකද ඒගොල්ලන්ට තර්ජනයක් එල්ල වෙලා තියෙනව මේ පිරිසට නවාතැන් දෙන්න එපා කියල," යනුවෙන්ද ජයසිරි ජයසේකර පැවසීය.

දෙමළ මාධ්‍යවේදීන් පිරිස යලි ගමට යාම පිණිස උදෑසන බස් රථවලට ගොඩ වන තුරු සියලු දෙනාට නිදිවර්ජිතව ගත කිරීමට සිදු වුනු බවත් ඔහු පවසයි.

"අපි එතකල් කාලේ ඉතාම අනාරක්ෂිතව යම් තැනක රැඳිල හිටියා. ඒක ඉතාම බිහිසුණු රාත්‍රියක් කියල කියන්න පුළුවන්," යනුවෙන්ද ජයසිරි ජයසේකර සඳහන් කළේය.

"ඉතාම බලවත් තැනකින්" එල්ල වූ අනතුරු ඇඟවීමක් නොවූයේ නම් තරු පහේ හෝටලයකින් එසේ කිසිවෙකුත් පිටමං නොකරන බව පවසන ඔහු, දශක ගණනාවක යුද ගැටුම්වලින් අනතුරුව උතුරේ මාධ්‍යවේදීන් යලිත් ගවේෂණශීලී මාධ්‍යකරණයට යොමු වීම පිළිබඳව ආණ්ඩුව දැඩි බියකින් පසු වීම වැඩමුළුවට මෙසේ අවහිර කිරීමට හේතුව ලෙස පෙනී යන බවත් සංදේශයට පැවසීය.

කෙසේ නමුත් ගලධාරි හෝටලයෙන් ඔවුන් ඉවත් කිරීමට බලවතෙකු නියෝග දුන්නේය යන්න සනාථ නොවූ චෝදනාවක් පමණක් බවයි, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසන්නේ.

මෙවැනි වැඩමුළුවක් පවත්වද්දී එයට ආරක්ෂාව ඉල්ලා සිටියේ නම් ආරක්ෂාව සැලසීම පොලිසියේ වගකීමක් බව පිළි ගන්නා අමාත්‍යවරයා, එහෙත් පොලිසියට පාලනය කළ නොහැකි වාතාවරණයක් මතු වන්නේ නම් මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එය නැවැත්වීම "ඉතා යෝග්‍ය පියවරක්" බවද පැවසීය.