ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කිරිපිටි මිල අඩු කරනු - අයිතීන් උදෙසා කාන්තාවෝ

ලෝක වෙළඳපොළේ කිරිපිටි මිළ සැලකියයුතු ප්‍රමාණයකින් අඩු වී ඇති නිසා ශ්‍රී ලංකාවේ පිටිකිරි මිල ද ඊට සාපේක්ෂව අඩුකරන ලෙස ඉල්ලා අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය අද වෙළඳ හා පාරිභෝගික අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වූහ.

ලෝක වෙළඳපොළේ පිටිකිරි මේට්‍රික් ටොන් 1 ක් මිල ජනවාරි මාසයේ ඩොලර් 5000 සීමාවේ පැවති අතර එය අද වන විට ඩොලර් 3750 දක්වා 25% පහත වැටී ඇත.

ලෝක වෙළඳ පොලේ කිරි පිටි මිල වැඩිවී ඇති බව පෙන්වමින් කිරි පිටි මිල වැඩි කල ආණ්ඩුව දැන් ලෝක වෙළඳ පොලේ කිරි පිටි මිල අඩු වී ඇති අවස්ථාවේ එහි සහනය ජනතාවට ලබා නොදෙන්නේ කුමක් නිසා දැයි අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය ආණ්ඩුවෙන් ප්‍රශ්න කරති.

මූල්‍ය වාසිය රජයට

දැනට රුපියල් 400කට අලෙවි වන ග්‍රෑම් 400ක පැකට්ටුවක් ලෝක වෙළඳපොළේ නව මිල යටතේ රුපියල් 210 ත් - 250 ක් අතර මුදලකට ලබා දීමට සමාගම් වලට හැකි බවයි අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධනයේ සම සභාපතිනිය සමන්මලී ගුණසිංහ පවසන්නේ.

කිරිපිටි මෙරටට ගෙන්වීම සඳහා පනවා තිබෙන ආනයන බදු රුපියල් 25 කින් ඉහළ දැමීමට මුදල් අමාත්‍යාංශය පසුගිය සතියේ ගත් තීරණය ආණ්ඩුවට මූල්‍ය වාසි ලබා ගැනීමට ගත් තීරණයක් යයි ඇය කියා සිටියාය.

මෙහි දී සංදේශයට අදහස් දැක්වූ අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ චාන්දනී කරුණාතිලක පැවසුවේ කිරිපිටි මිල අඩු නොකරන්නේ කිරි ගොවියා ශක්තිමත් කිරීමට යැයි පවසමින් ආණ්ඩුව ජනතාව රවට්ටමින් සිටින බවයි.

මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට සංදේශය පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් රුමි මර්සුක් ඇමතූ අවස්ථාවේ ඔහු කියා සිටියේ තමන් පසුව මේ පිළිබඳ අදහස් දක්වන බවයි.

රජය කිරි පිටි මිල අඩු කිරීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පසුගිය බ්‍රහස්පතින්දා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවේය.

වර්තමානයේ ලෝක වෙළඳපොළේ කිරි පිටි මිල පහළ යමින් පවතින බව ප්‍රකාශ කළ ද මිල අඩු වීමේ වාසිය දේශීය කිරිපිටි සමාගම් හා ආනයනකරුවන් වෙත මෙතෙක් ලැබී නැතැයි කිරිපිටි ආනයනය කරන සමාගම් පවසනවා.

තමන් ළඟ පවතින්නේ පෙබරවාරි සහ මාර්තු මාස වල ආනයනය කල කිරිපිටි තොග යැයි කියා සිටි මැලිබන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ලක්ෂ්මන් වීරසූරිය කිරිපිට මිල අඩු කිරීමට සැප්තැම්බර් අග වන තෙක් නොහැකි බවයි සඳහන් කළේ.