පොලිස් වෙඩි තැබීම් දෙකක්

  • 2014 ජුනි 12
Image copyright JAYASINGHA
Image caption මරා දැමුණ සුභාෂ් ඉන්දික ජයසිංහ

නිට්ටඹුවේ, පස්යාලේදී සහ කටුනායක හීනටියන ප්‍රදේශයේදී සිදු කෙරුණ පොලිස් වෙඩි තැබීම් දෙකක් ගැන වාර්තා වෙයි.

පස්යාලේ පොලිස් වෙඩි පහරින් තරුණයකු මරා දැමුණ අතර හීනටියන වෙඩි පහරින් පුද්ගලයකු තුවාල ලැබ ඇති බවයි, බීබීසී සංදේශයට එම තොරතුරු ගෙනෙන ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න වාර්තා කරන්නේ.

බදාදා රාත්‍රියේ පස්යාලේ පොලිස් වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේ එහි සිටි සචින් චතුරංග පවසන්නේ තමන් ගමන් ගත් යතුරුපැදිය පොලිස් අණ පරිදි නතර කළ අවස්ථාවේ තම මිතුරා වන සුභාෂ් ඉන්දික ජයසිංහට පොලිසිය වෙඩි තැබූ බවයි.

“ට්‍රැෆික් එකේ පස් දෙනෙක් විතර හිටිය. බීල වගෙයි හිටියේ. වෙඩි තිබ්බට පස්සේ පොලිසිය මාරු වෙලා යන්න ගියා. මම කෑ ගහල වාහනයක් නතර කර ගෙන වෙඩි වැදුණ පුද්ගලයා වාහනේ දමා ගෙනයි ආවේ” සචින් චතුරංග වැඩිදුරටත් කියා සිටියි.

පස්යාලේ මරණය

මරා දැමුණ තරුණයා වන සුභාෂ් ඉන්දික ජයසිංහගේ පියා සුනිල් ජයසිංහ පවසන්නේ පොලිසිය තම පුතාගේ කිහිල්ලට පිස්තෝලයක් තබා වෙඩි තබා මරා දමා ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් කිරීමට ගියත් එය භාර නොගත් බවත් සුනිල් ජයසිංහ පවසයි.

මරා දැමුණ සුභාෂ් ඉන්දික ජයසිංහ එක් දරු පියෙකි.

මේ සම්බන්ධයෙන් පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරී අජිත් රෝහණගෙන් විමසීමක් කළ විට ඔහු කියා සිටියේ, යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයන් අණ නොතකා ඔවුන් යට කර ගෙන යාමට උත්සාහ කළ බව වෙඩි තැබීම සිදු කළ පොලිස් නිලධාරීන් දෙදෙනා පවසන බවයි.

එහෙත් එම වෙඩි තැබීම සම්බන්ධයෙන් ගම්පහ පොලිස් අධිකාරීවරයා යටතේ ස්වාධීන විභාගයක් පවත්වන බවත් පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසයි.

හීනටියන වෙඩි තැබීම

මේ අතර කටුනායක හීනටියන ප්‍රදේශයේ සිදු කෙරුණ තවත් පොලිස් වෙඩි තැබීමක් ගැනත් වාර්තා වෙයි.

සිය අණ නොතකා ධාවනය කෙරුණ ත්‍රිරෝද රථයක් ලුහු බැඳ ගිය පොලිස් භටයන් විසින් තබන ලද වෙඩි පහරක් මාර්ගයේ ගමන් ගනිමින් සිටි පුද්ගලයකුට එල්ල වීමෙන් එම පුද්ගලයා තුවාල ලැබ මේ වන විට ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි හීනටියන වෙඩි තැබීම සම්බන්ධයෙන් ලැබෙන වාර්තා මගින් පැවසෙන්නේ

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර