ඩෙංගු මදුරුවා වනසන්න අළුත් ක්‍රමයක්

Image caption ඩෙංගු මදුරු උගුල

ඇහැලියගොඩ දිසා රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා විසින් මදුරු බිත්තර විනාශ කිරීමෙන් මදුරු උවදුර තුරන් කිරීමට නියාමන ව්‍යාපෘතියක් මේ දිනවල අත්හදා බලයි.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගය පැතිර යාම බරපතළ සෞඛ්‍ය ගැට‍ළුවක් බවට පත් ව ඇති නිසා ඩෙංගු මදුරුවා විනාශ කිරීමට නව ක්‍රමයක් ලෙස මෙම නියාමන ව්‍යාපෘතිය ආරම්භ කළ බව සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක දොස්තර කපිල කන්නන්ගර පවසයි.

ඇහැලියගොඩ දිසා රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි ශාන්ත අබේවික්‍රම කියා සිටියේ මදුරුවන් බිත්තර දාන තැන් විනාශ කිරීම මදුරුවන් අඩු කිරීමට හේතුවක් නොවන නිසා මදුරුවන්ට බිත්තර දැමීමට තැන් සකසා දී බිත්තර විනාශ කිරීම මෙම පර්යේෂණයේ බලාපොරොත්තුව බවයි.

පසේ මදුරු බිත්තර

මදුරුවන්ට බිත්තර දැමීමට පිරිසිදු ජලය පමණක් අවශ්‍ය නොවන අතර ගස්වල කොළ, පොළොවේ තෙතමනය ඇති තැන්, ගස් බෙන, ගල් කුහර වැනි ස්ථාන වල පවා බිත්තර දැමීමේ අවදානමක් ඇති බව කියා සිටි ශාන්ත අබේවික්‍රම පසේ මදුරු බිත්තර ඇතිදැයි සොයා බැලීමට පරීක්ෂණයක් මේ සමගම පවත්වන බව පවසයි.

Image caption උගුල් වල දැමු මදුරු බිත්තර එකතුකරන ආරක්‍ෂිත භාජනය

පසේ මදුරු බිත්තර තිබෙන බව සනාථ වුවහොත් බිත්තර දාන තැන් විනාශ කරන ක්‍රමය සාර්ථක නොවන නිසා මදුරුවන්ට බිත්තර දැමීමට ඉඩ දී ඒ බිත්තර විනාශ කළ යුතු බවයි දොස්තර ශාන්ත අබේවික්‍රම පැවසුවේ.

අපතේ යන ප්ලාස්ටික් බීම බෝතල භාවිතයෙන් සැකසූ මදුරු උගුල් 80ක් පමණ මේ වනවිට ඇහැළියගොඩ දිසා රෝහලේ වාට්ටුවල, මදුරුවන් සිටිති අනුමාන කරන අඳුරු තැන්වල ඇල්ගී සහිත පිරිසිදු ජලයත්, මදුරුවන් ආකර්ෂණය සඳහා සැකසු විශේෂ ද්‍රව්‍යත් වෙන වෙනම තබා ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර