ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අලුත්ගම සිට බේරුවලටත් ඇඳිරි නීතිය

බොදු බලා සේනා ඇතුළු බෞද්ධ සංවිධාන ගණනාවක් එකතුව අලුත්ගම නගරයේ පැවති ‘අවදිවව් බොදු මහ සමුළුවෙන්’ පසු හට ගත් කලබලකාරී තත්වය හේතුවෙන් අලුත්ගම ප්‍රදේශයේ පැනවූ පොලිස් ඇඳිරි නීතිය බේරුවල නගරයේ ද ක්‍රියාත්මක කර තිබේ.

මුස්ලිම් ප්‍රදේශවාසීන් හා අලුත්ගම අවට වාසය කරන බෞද්ධ කණ්ඩායම් අතර ඇති වූ ගැටුම් හේතුවෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු රෝහල් ගත් කර ඇති බවත් පැවසේ.

අලුත්ගම නගරය අවට බස් රථවල ගමන් ගත් මුස්ලිම් ජාතිකයන් පිටතට ගෙන ඔවුන්ට පහර දෙනු තමා දුටු බවයි සිද්ධිය ඇසින් දුටු පුද්ගලයකු බීබීසී සංදේශයට කියා සිටියේ.

ගැටුම් පවතින ප්‍රදේශ අවට කොල්ලකෑමේ සිදුවීම් කිහිපයක් ද වාර්තා වී තිබෙන බවත් පැවසේ.

ආණ්ඩුවේ ආරංචි මාර්ග පවසන්නේ රට පුරා ඇති මුස්ලිම් පල්ලිවලට ආරක්ෂාව ලබා දීමට පොලිසියට උපදෙස් ලබා දී ඇති බවයි.

නීතිය ඉදිරියට

අලුත්ගම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙන ඒමට පරීක්ෂණයක් පවත්වන බව මීට මිනිත්තු කිහිපයකට පෙර ට්වීටර් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

රටේ නීතිය කිසිවකුගේ අතට ගැනීමට ආණ්ඩුව ඉඩ නොතබන බවත් පවතින තත්වය යටතේ සංයමයෙන් කටයුතු කරන මෙන් සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බවත් ට්වීටර් පණිවුඩයේ වැඩි දුරටත් සදහන්.

මීට දින තුනකට ඉහත දී බෞද්ධ හිමිනමකගේ රියදුරු හා මුස්ලිම් තරුණයන් කීප දෙනෙකු අතර ඇති වූ ගැටුම්කාරී තත්වය සමගයි බොදු බල සේනා සංවිධානය අලුත්ගම නගරය තුල මෙම රැළිය පැවැත්වීමට කටයුතු යොදා ඇත්තේ.

රැළිය පැවැත්වීම සඳහා බලධාරීන්ගේ අවසරය ලැබී ඇති බවත් සඳහන්.

මුස්ලිම් වැසියන් බහුලව වෙසෙන ප්‍රදේශයේ මුස්ලිම් විරෝධී සටන් පාඨ කියමින් බොදු බල සේනා සාමාජිකයන් ගමන් කරමින් සිටියදී ගැටුම්කාරී තත්වය ඇතිවී තිබේ.

මුස්ලිම් ජාතිකයන්ට අයත් වෙළෙඳසැල් ගිනි තබා ඇති අතර පාගමනේ යෙදී සිටි බෞද්ධ කණ්ඩායම්වලට ගල් ගසා ඇති බවත් වාර්තාවේ.

පවතින ගැටුම්කාරී තත්වය වාර්තා නොකර ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වන පෞද්ගලික රූපවාහිනී ආයතන ඇතුළු සියලු ප්‍රවෘත්ති ආයතන තමා හට ස්වයං වාරණයක් යොදා ගනිමින් පොලිස් ඇඳිරි නීතිය පිළිබඳ පමණක් වාර්තා කර සිටින බවයි බීබීසී වාර්තාකරු පවසන්නේ.