ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'රජයේ අමාත්‍යවරයකු වීම ගැන හකීම් ලැජ්ජාවෙයි'

ඊයේ අලුත්ගම සහ බේරුවල පැවති කලහකාරී තත්ත්වය ගැන සඳහන් කරමින්,නීතිය සහ සාමය සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව පවසන්නේ අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම්.

සිවිල් ජනතාවට ආරක්ෂාව සලසා දීමට නොහැකිවීම ගැන පොලිසිය මෙන්ම අනෙකුත් අදාල අංශ වගකීම් භාර ගත යුතු බව කියා සිටියි.

‘’අද මෙහෙ මරණ තුනක් සිදුවෙලා තියෙනවා.තුවාල කරුවන් කිහිප දෙනෙක් ඉන්නවා.

මේ සිදුවීම වෙන්නට පෙර පොලිසියේ උසස් නිලධාරින් මේ පලාතට පැමිණ පළාතේ තත්ත්වය හොඳටම අවබෝධ කරගෙන තමයි ගිහින් තයෙන්නේ’’.

අපක්‍ෂපාති පරීක්ෂණයක්

ඉන් පසු වූ මේ සිද්ධිය බරපතල කරුණක් බව බිබිසි සංදේශයට ප්‍රකාශ කල රවුෆ් හකීම් අමාත්‍යවරයා මේ පිළිබඳව අපක්ෂපාති පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි කියා සිටින්නේ.

තම පක්ෂය මේ පිළිබඳව දැඩි ක්‍රියා මාර්ගයකට යොමු විය යුතු බවට ජනතාව ඉලා සිටින්නේ යැයිද ඔහු පැවසීය.

ජනතාවට උපරිම ආරක්ෂාව සලසාදීමේ වගකීම රජය ඉටුකළේද යන ප්‍රශ්නය පැනනගින බවත් පවසන හකීම් අමාත්‍යවරයාගෙන් සංදේශය විමසුවේ තමා මේ රජයේ අමාත්‍යවරයකු නොවේද යනුවෙන්.

‘’මේ රජයේ අමාත්‍යවරයක් හැටියට ඉන්න එක පිළබඳව මම ලැජ්ජාවට පත්වෙනවා.’’යනුවෙන් කියා සිටියේය.

දැනට මරණ තුනක් සිදුවී ඇති නමුත් ඒ පිළබඳව කිසිදු පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බවයි අධිකරණ අමාත්‍යවරයා චෝදනා කරන්නේ.