‘බොදු බල සේනාව ජාතිවාදය අවුස්සනවා’- රනිල්

Image caption බොදුබලසේනා රැස්වීම නැවැත්වීමට කටයුතු නොකළේ ඇයිදැයි විපක්ෂනායක වරයා ප්‍රශ්න කරයි.

ජුනි 15 වැනිදා අලුත්ගමදි බොදුබලසේනා සංවිධානය පැවැත්වූ ප්‍රසිද්ධ රැස්වීමේ පැවැත්වූ කථා මගින් ජාතිවාදය අවුළුවා තිබෙන බව විපක්ෂනායකවරයා පැවසුවේය.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් නිදහස් අධ්‍යාපනය රැකගන්නට රැස්වීම් තබද්දී පෙළපාලි යද්දී මහජනයාට පීඩා වන්නේ යැයි කියා උසාවි නියෝග ගෙන ඒවා නවත්වන ආණ්ඩුව, අළුත්ගම ප්‍රදේශයේ බොදුබලසේනා සංවිධානය පැවැත්වූ රැස්වීම හා රැළිය නැවැත්වීමට කටයුතු නොකළේ ඇයිදැයි විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී රජයෙන් ප්‍රශ්න කළේය.

'සිදුවීම පැතිරීමට ඉඩ දීලා'

අනතුරුව ඔවුන් පෙළපාලියක් ලෙස මුස්ලිම් ජනතාව ජිවත්වන දර්ගා නගරය හරහා ගමන් කර ඇති බව පැවසූ විපක්ෂනායකවරයා ජාතිවාදය අවුස්සන මෙම ක්‍රියාදාමයට ඉඩ නො දෙන ලෙස ප්‍රදේශයේ ප්‍රධාන ස්වාමින් වහන්සේලා රජයෙන් ඉල්ලා තිබෙන බවද පැවසුවේය.

ඇතිවී තිබෙන අර්බුධකාරී තත්වය පිළිබඳව පුර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටි විපක්ෂනායකවරයා මෙම සිදුවීම පැතිරීමට ඉඩ දී රජය බලා සිටියේ ඇයිද යන්නත් රජයෙන් විමසා සිටියේය.

මින් පෙර අලුත්ගමදී වෙළදසලකට හා භික්ෂුන් වහන්සේ නමක් ගමන් ගත් වාහනයකට පහරදීමේ සිද්ධයක් සම්බන්ධයෙන් උණුසුම් තත්වයක් ඇතිවූ අවස්ථාවේ දී එවන් තත්වයක් යළි ඇති නොවන පරිදි ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට එවැනි දේ උසිගන්වන පරිසරයක් රජය නිර්මාණය කල බවයි විපක්ෂනායකවරයා පැවසුවේ

මෙම ප්‍රකාශය වාර්තා නොකරන ලෙස ආණ්ඩුව මාධ්‍ය ආයතන වෙත ලිපියක් යව ඇති බව ද විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුව දැනුවත් කළේය.

අගමැතිගෙන් පිළිතුරු

පොසොන් පොහෝ දා අයගම සමිත හිමියන් රැගත් වාහනයේ රියදුරු හා ඇතිවූ ප්‍රශ්නයක් හෙතුවෙන් මුස්ලිම් තරුණයෙකු අයගම සමිත හිමියන්ට කළ පහරදීමක් මුල් කර ගෙන මෙම සිද්ධිය ඇතිවූ බව පවසන අග්‍රාමාත්‍ය දිමු ජයරත්න සමිත හිමියන් රෝහලෙන් පිටව යන දිනයේ ඔහුව පිළිගැනීමට උත්සවයක් පැවැත්වීමට අවසර දුන් බව ද පැවසීය.

අලුත්ගම රැළියෙන් අනතුරුව සමිත හිමියන් උන්වහන්සේ වැඩ සිටින දර්ගා නගරයේ පන්සලට යමින් සිටියදී ස්වාමින් වහන්සේලා පිරිසක් රැගත් වාහන පෙළකට යම්කිසි පිරිසක් ගල් මුල් ප්‍රහාරයක් එල්ල කල නිසා මෙම තත්වය ඇතිවූ බවයි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.

මෙහිදී නිතිය කඩකළ සියලු දෙනා අත්අඩංගුවට ගන්නා බව පාර්ලිමේන්තුවට පැවසූ අග්‍රාමාත්‍යවරයා තත්වය සම්පුර්නයෙන්ම පාලනය කර ඇති බව පවසන විට විපක්ෂනායකවරයා නැගී සිට පැවසුවේ අද දිනයේත් කඩ තුනක් විනාශ කර ඇති බවට තමන්ට තොරතුරු ඇති බවයි.

මෙම ප්‍රශ්නය විසදීම සඳහා ගත යුතු පියවර පිළිබඳව සාකච්ඡා කිරීමට පක්ෂ නායකයන්ගේ හදිසි රැස්වීමක් කැඳවන ලෙස විපක්ෂ නායකවරයා කළ ඉල්ලීමට රජයෙන් යහපත් ප්‍රතිචාරයක් හිමි වුයේ නැත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර