මැතිව්ස් ක්‍රිකට් අර්බුදය අවසන්

  • 20 ජුනි 2014
Image copyright AFP

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ පන්දු යැවීම් හමුවේ එංගලන්ත කණ්ඩායම දුෂ්කර තත්වයකට පත්ව සිටින්නේ යයි කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් විසින් කරන ලද ප්‍රකාශය මුල් කර ගත් අර්බුදය නිරාකරණය කෙරුණ බව ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

සිය ප්‍රකාශය සම්බන්ධයෙන් ඇන්ජලෝ මැතිව්ස් විසින් කරන ලද පැහැදිලි කිරීම් සම්බන්ධයෙන් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය සෑහීමට පත්ව සිටින බවයි ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සාමි උල් හසන් පවසන්නේ.

මෙම අර්බුදය ආරම්භ වුනේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාකදී කරන ලද ප්‍රකාශයකිනි.

සංදේශයට කළ ප්‍රකාශය

සචිත්‍ර සේනානායකගේ පන්දු යැවීමේ ඉරියව් පරීක්ෂණයකට ලක් කිරීමට තීන්දු කරනු ලැබීම සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී අදහස් දැක්වූ ඇන්ජලෝ මැතිව්ස් කියා සිටියේ, ප්‍රතිවාදීන්ගෙන් එල්ල වන පීඩනය දරා ගත නොහැකි වූ විට අනෙක් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට පීඩනය යොමු කිරීම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සාමාන්‍ය සිරිතක් බවට පත් වී තිබෙන බවයි.

"සමහර අවස්තාවලදී සමහර පන්දු යවන්නට හොඳින් මුහුණ දෙන්න බැරි වුනාම මේ වගේ මතභේද ඇතිවෙනවා. මුරලිදරන් ගේ ඉඳල ඒක අපි දැකපු දෙයක්," ඇන්ජලෝ මැතිව්ස් බීබීසී සංදේශයට කියා සිටියේය.

Image copyright AFP
Image caption සචිත්‍ර සේනානායක

එම ප්‍රකාශය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන ඇන්ජලෝ මැතිව්ස් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලයට පවසා ඇත්තේ ක්‍රිකට් විනිසුරුවන් කෙරෙහි කිසිදු බලපෑමක් විනැයි තමා නිගමනය නොකරන අතර තම ප්‍රකාශය මගින් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය විවේචනයට ලක් කරනු ලැබීමක් නොවූ බවයි.

දෙවැනි ටෙස්ට් තරඟය

බීබීසියට කළ ප්‍රකාශය මුල්කර ගනිමින් ඇන්ජලෝ මැතිව්ස්ට තරඟ තහනමක අවදානමකට මුහුණ දීමට සිදු විය හැකි බව පසුගිය දිනවල මාධ්‍ය මගින් පැවසුණි.

මේ අතර,ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන මෙවර තරඟාවලියේ දෙවන සහ අවසාන තරඟය මෙයින් ස්වල්ප වෙලාවකට පෙර ආරම්භ විය.

මෙම ටෙස්ට් ක්‍රිකට් තරඟය පැවැත්වෙන්නේ එංගලන්තයේ ‘හෙඩින්ග්ලි’(headingley)ක්‍රීඩාංගනයේ.

මෙම තරඟයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත කණ්ඩායම විසින් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායම වෙත පවරනු ලැබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර