රජරට උප කුලපති නිදහස්

ශිෂ්‍යයන්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලැබීමෙන් අනතුරුව ශිෂ්‍යයන් විසින් විශ්ව විද්‍යාලයේ රඳවා ගනු ලැබ සිටි රජරට විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා සහ ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පිරිස නිදහස් කොට තිබේ.

සිසුන් 28 දෙනෙකුගේ පන්ති තහනම ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන තුන්සියයකට අධික ශිෂ්‍යයන් විසින් උප කුලපතිවරයා සහ ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් රදවා ගෙන සිටියේය.

තත්වය පාලනය කිරීමට කැරළි මර්ධන ඒකකයද කැඳවා තිබුණි.

ආචාර්ය මණ්ඩලය මැදිහත් වී ගැටලුව විසඳීම පිණිස ඉදිරිපත් කළ කරුණු හයකින් යුත් යෝජනාවලියට ශිෂ්‍යයන්ගේ අනුමැතිය පළ වූ බව විජය පුවත්පත් සමාගමේ අනුරාධපුර වාර්තාකරු අතුල බණ්ඩාර වාර්තා කරයි.

'විනය ක්‍රියාමාර්ග නෑ'

ලබන ජුලි 10 වැනි දින විශ්ව විද්‍යාලයේ සනාථන සභාව රැස් වී වැඩ තහනමට ලක් කොට සිටින ශිෂ්‍යයන් පිරිස සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමටත්, ඊට පසුදිනම එම තීන්දුව ශිෂ්‍යයන්ට ලිඛිතව දැනුම් දීමටත් එහිදී එකඟත්වයකට පැමිණ තිබේ.

සනාථන සභාව විසින් ගන්නා ලද තීන්දුවක් තනිව වෙනස් කිරීමට තමන්ට හැකියාවක් නැති බව උප කුලපතිවරයා ශිෂ්‍යයන්ට දැනුම් දුන්නේය.

අර්බුදය හේතුවෙන් වසා දමන ලද විශ්ව විද්‍යාලය විවෘත කිරීම තවත් එකඟත්වයක්.

විශ්ව විද්‍යාලය තුල බ්‍රහස්පතින්දා සහ සිකුරාදා හටගත් සිදුවීම් සම්බන්ධයෙන් ශිෂ්‍යයන්ට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගන්නා බවටද ප්‍රතිඥා දුන් බලධාරීන්, මාධ්‍යවේදීන්ට විශ්ව විද්‍යාලය තුලට ඇතුළු වීමට අවසර දීමටද එකඟවී තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර