ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අලුත්ගම හා බේරුවල ජන ජීවිතය කම්පනයට පත්වෙලා - ජන මාධ්‍ය

බේරුවල සහ අලුත්ගම ප්‍රදේශවල ඇතිවූ ගැටුම් එම ප්‍රදේශවාසීන් කිසිසේත්ම බලාපොරොත්තු වූ දෙයක් නොවූ නිසා ජන ජීවිතය කම්පනයට සහ වික්ෂිප්ත භාවයට පත්ව ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ප්‍රකාශ කරයි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මේ බව පැවසුවේ එම ප්‍රදේශවල කළ සංචාරයකින් පසුවයි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංවිධානය ඇතුළු සංවිධානවල සාමාජිකයන් සහ ප්‍රධාන මාධ්‍ය ආයතන වල මාධ්‍යවේදීන් පිරිසක් බේරුවල සහ අලුත්ගම ප්‍රදේශවල සිදුවී ඇති විනාශය දැක බලා ගැනීමට ගිය ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙම සංචාරය සංවිධාන කොට තිබුනේ ශ්‍රී ලංකා මුස්ලිම් ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානය විසින්.

සිංහල ජනතාවට අයත් නිවාස හයක් විනාශ වී ඇති ආකාරය දැක ගන්නට හැකි වූ බව පැවසූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර මුස්ලිම් ජන කොටස් වලට අයත් නිවාස සහ ව්‍යාපාරික ස්ථාන පිළිබඳව මෙතෙක් සම්පූර්ණ තොරතුරු ලැබී නැති නමුත් සාපේක්ෂව විශාල විනාශයක් සිදුවී ඇති බව ප්‍රකාශ කළ හැකි බව ප්‍රකාශ කළේය.

යුද හමුදාව එම ප්‍රදේශවල ප්‍රතිසංස්කරණ කටයුතුවල යෙදී සිටින අතර මුස්ලිම් පල්ලි ප්‍රතිසංස්කරණය කරනු දක්නට ලැබුන බවයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සුනිල් ජයසේකර පැවසුවේ.