අල්ලස් කොමිසමේ පරිපාලන වෙනසක්

Image copyright ciaboc.gov.lk

අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ලක්ෂ්මී ජයවික්‍රම එම පදවියෙන් වෙනත් තනතුරකට මාරු කර ලැබ ඇති බව එම කොමිසම මගින් තහවුරු කරනු ලැබුණි.

එම පදවි මාරුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසමේ සාමාජික ආචාර්ය ජයන්ත වික්‍රමරත්නගෙන් බීබීසී සංදේශය කල විමසීමක දී කොමසාරිස්වරයා එම පුවත නිවැරදි බවයි සඳහන් කළේ.

අල්ලස් කොමිසමේ සභාපති පදවිය විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැඳි විසින් දරනු ලබන අතර එහි සෙසු කොමසාරිස් වරුන් වන්නේ විනිසුරු එල්.කේ.විමලචන්ද්‍ර සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය ජයන්ත වික්‍රමරත්නයි.

Image copyright ciaboc.gov.lk
Image caption කොමසාරිස් ආචාර්ය ජයන්ත වික්‍රමරත්න

අධ්‍යක්‍ෂ ජනරාල් ලක්ෂ්මී ජයවික්‍රම ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කරනු ලැබ සිටින බවයි අචාර්ය ජයන්ත වික්‍රමරත්න බීබීසී සංදේශයට ප්‍රකාශ කළේ.

මාරුවේ හේතුව

අධ්‍යක්‍ෂ ජනරාල්වරිය මාරු කිරීමට මුල් වූ හේතූන් පිළිබඳව ප්‍රශ්නයක් යොමු කළ විට කොමසාරිස්වරයා කියා සිටියේ රජයේ සේවය තුල නිලධාරීන් විවිධ ආයතන අතර මාරු කරනු ලැබීම සාමාන්‍ය දෙයක් වන බවයි.

මාධ්‍ය වාර්තා කර තිබුණේ අල්ලස් දූෂණ චෝදනාවන්ට ලක්ව සිටින ඇමතිවරුන් සම්බන්ධයෙන් විභාග ආරම්භ කිරීමට පියවර ගනු ලැබෙමින් තිබියදී කොමසාරිස් ජනරාල්වරිය මාරු කොට ඇති බවයි.

ආණ්ඩුවේ ඇමතිවරුන් විසින් සිදු කරන ලද අල්ලස් අපචාර සම්බන්ධයෙන් විශ්වසනීය තොරතුරු අල්ලස් කොමිසමට ඉදිරිපත් කරනු ලැබ ඇතත් ඒ සම්බන්ධයෙන් කොමිසම කිසිදු පියවරක් නොගන්නා බවයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පසුගිය අවධියේ පෙන්වා දුන්නේ.

විශ්වසනීය තොරතුරු ඇත්නම් එවැනි පැමිණිලි පිළිබඳව විභාග නොකරන්නේ කුමක් නිසාදැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කර ඇත.

විභාග ප්‍රමාදය

Image caption සුනිල් හඳුන්නෙත්ති(පා.ම.)

අල්ලස් කොමිසමේ කලින් සේවය කළ නීති උපදේශකයෙක් අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය මාරු කිරීම සම්බන්ධයෙන් බීබීසී සංදේශයට අදහස් දක්වමින් කියා සිටියේ, පැමිණිලි විභාගයට ගැනීම අතින් බලය පවතින්නේ අල්ලස් කොමසාරිස් ජනරාල් පදවියට නොව එහි සභාපති ප්‍රමුඛ කොමසාරිස්වරුන්ට බවයි.

කොමිසමේ සභාපති විනිසුරු ජගත් බාලපටබැඳි විසින් සිදු කරන ලද මෝටර් රථ ගනු දෙනුවක් ගැනත් පසුගිය කාලයෙහි මාධ්‍ය මගින් සාකච්ඡා කෙරුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර