අලුත්ගම: ඥානසාර හිමි රහස් පොලිසියට

Image caption ගැටුම්වලට අනුබල දුන් බවට එල්ල වන චෝදනාව බොදු බල සේනාව ප්‍රතික්ෂේප කරයි

අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවල හටගත් ගැටුම් සම්බන්ධයෙන් බොදු බල සේනා සංවිධානයේ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගෙන් ප්‍රකාශයක් ලබා ගත් බව පොලිසිය පවසයි.

එහිමියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා, ගැටුම් හටගත් ජුනි 15 වැනි දින අලුත්ගම දී පවත්වන ලද රැස්වීමේදී කළ කථාවට අදාලව එම ප්‍රකාශය සටහන් කරගත් බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ.

රැස්වීමේදී අදහස් දැක්වූ අනෙක් කථිකයන් ගෙනුත් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව පවසන පොලිස් නිවේදනය, සිහල රාවය සංවිධානයේ අක්මීමන දයාරත්න හිමියන් ගෙන් පසුගිය ජුනි 30 වැනි දින ප්‍රකාශයක් සටහන් කර ගත් බවද සඳහන් කරයි.

ගැටුම් සම්බන්ධයෙන් සැකකරුවන් 117 දෙනකු අත් අඩංගුවට ගනු ලැබූ බව පවසන පොලිසිය, එයින් 88 දෙනකු අධිකරණය වෙත ඉදිරිපත් කළ බවත්, 25 දෙනකු පොලිස් ඇප මත මුදා හරින ලද අතර තවත් සිවු දෙනකු මේ වන විටත් පොලිස් භාරයේ සිටින බවත් ප්‍රකාශ කරයි.

'නිදහස් කළේ නෑ'

අලුත්ගම රැස්වීමේදී ජාතිවාදී, ආගම්වාදී ප්‍රකාශ සිදු කරමින් ගැටුම් ඇවිල වූ බවට බොදු බල සේනාවට චෝදනා කරන රාජිත සේනානායක, මහින්ද යාපා අබේවර්ධන වැනි අමාත්‍යවරුන් මෙන්ම මාධ්‍යවේදී සංවිධාන, නීතිවේදී සංවිධාන සහ සමාජ ක්‍රියාධරයන් එම සංවිධානයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන බවට පොලිසිය දැඩි විවේචනයට ලක් කළහ.

බොදු බල සේනා සංවිධානය ආරක්ෂා කරන 'අදිසි හස්තයක්' තිබෙන හැඩක් පෙනී යන බව වාසුදේව නානායක්කාර ඇමතිවරයා සංදේශයට පැවසීය.

Image caption බොදු බල සේනාවේ ප්‍රකාශවලට එරෙහිව පියවර ගැනීමට හැකියාවක් නොමැති බව පොලිස්පතිවරයා පැවසීය

බොදු බල සේනාවට පූර්ණ අනුග්‍රහය දක්වමින් පොලිසියද ගැටුමට අනුබල දුන් බවට සාක්ෂි තිබෙන බව ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමයේ සභාපති උපුල් ජයසූරිය සංදේශයට පැවසීය.

එහෙත් බොදු බල සේනාව ගැටුමට සම්බන්ධ බවට සාක්ෂි ලැබී නැති බවයි, පොලිස්පති එන්කේ ඉලංගකෝන් සහ පොලිස් ප්‍රකාශකවරයා පසුගියදා මාධ්‍ය අමතමින් කියා සිටියේ.

බොදු බල සේනා සංවිධානයද තමන්ට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරයි. රැස්වීමේදී උද්වේගකර ප්‍රකාශයක් කරමින් තමන් වහන්සේ අපේක්ෂා කළේ ජනතාවගේ ආවේගය සංසිඳුවීමට බව ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ සංදේශයට පැවසූහ.

එමෙන්ම ජුනි 15 වැනි දින අත් අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් 13 දෙනකු බොදු බල සේනා සංවිධානයේ නියෝග මත නිදහස් කරන ලද බවටත් පොලිසියට චෝදනා එල්ල වී තිබේ. සැකකරුවන් පිරිස නිදහස් කරන මෙන් කළුතර ප්‍රදේශ භාර නියෝජ්‍ය පොලිස්පති වී ඉන්ද්‍රන්ට තමන් නියෝග නොකළ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී නවරත්න සංදේශය කළ විමසීමකදී කියා සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාශය සහ තවත් විමර්ශන අංශ අදාළ ගැටුම් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වන බවත් පොලිස් නිවේදනයේ සඳහන්.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර