ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බුදුරුවේ පච්චය නිසා පිටුවහල් කළ නයෝමිගේ නඩුව විභාගයට

බුදුරජාණන් වහන්සේට අපහාස කළේ යැයි අත්අඩංගුවට ගෙන පිටුවහල් කල නයෝමි මිෂෙල් නමැති බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව ඊට එරෙහිව ඉදිරිපත් කල මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයයේ අවසරය ලැබුණි.

අදාළ නියෝගය දෙමින් විනිසුරු සලීම් මර්ෂුක් කියා සිටියේ මෙවැනි ක්‍රියාවලින් ශ්‍රී ලංකාවට පිවිසෙන සංචාරකයින් අනාරක්ෂිත තත්වයකට පත් වීමට ඉඩ ඇති බවයි.

එවැනි අවාසනාවන්ත සිදුවීම් ඉදිරියේ දී ඇතිවීම වැළැක්වීම සඳහා නිසි වැඩපිළිවෙළක් සකසන මෙන් අධිකරණය නීතිපතිවරයාට නියම කළ බව නයෝමි මිෂෙල් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විශ්ව ලිවේරා දී තෙන්නකෝන් සංදේශයට පැවසීය.

පෙත්සම කැඳවූ අවස්ථාවේ පෙත්සම්කාරියගේ නීතිඥවරයා කියා සිටියේ අත්අඩංගුවේ පසු වූ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් තම සේවාදායිකාවට අයුතු ලිංගික යෝජනා ඉදිරිපත් කොට ඇති අතර රුපියල් දෙදහසක මුදලක් ඇයගෙන් බලහත්කාරයෙන් ලබාගෙන ඇති බවයි.

පෙත්සම්කාරිය පිටුවහල් කිරීමට මහේස්ත්‍රාත්වරයාට බලයක් නොමැති බව පෙන්වා දුන් නීතිඥවරයා මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මුළුමනින් ම නීතියට පටහැණි බවයි කියා සිටියේ.

සංචාරක මණ්ඩලය සමාව ගනී

මේ අතර රජයේ නීතිඥවරයා කියා සිටියේ බුදු රුව සිය බාහුවේ පච්චයක් ලෙස කොටා ගත් පෙත්සම්කාරිය රට තුළට පිවිසීමට අවසර දීමෙන් ආගමික නොසන්සුන්තාවක් නිර්මාණය වීමට ඉඩ තිබූ බවයි.

එසේම එමගින් ඇයගේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වීමට ඉඩ තිබූ නිසා ඇය පිටුවහල් කිරීමට පියවර ගත් බවයි රජයේ නීතිඥවරයා වැඩි දුරටත් කියා සිටියේ.

සිය සේවාදායිකාවට මුහුණ දීමට සිදු වූ අපහසුතාවය පිළිබඳව සංචාරක මණ්ඩලය පෙත්සම්කාරියගෙන් සමාව ඉල්ලා ඇති බවත් රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නයෝමි මිෂෙල්ගේ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන් අතර නඩුවට අදාළ විරෝධතා දෙසැම්බර් මස පහළොස් වෙනි දින ඉදිරිපත් කරන ලෙස වග උත්තරකාර නීතිපතිවරයාට සහ කටුනායක පොලිසියේ නිලධාරීන්ට නියෝග කළේය.

තමන් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා පිටුවහල් කිරීම තුලින් සිදු වූ මානව හිමිකම් කඩවීම වෙනුවෙන් රුපියල් කෝටියක වන්දියක් ශ්‍රී ලංකා රජයෙන් අය කර දෙන මෙන් ඉල්ලමින් පෙත්සම්කාරිය මෙම නඩුව පවරා ඇත.