කොටි කළ අපරාධ සෙවීමෙන් පලක් නැහැ -කෙහෙළිය

Image copyright AFP Getty Images
Image caption කොටි සංවිධානය 'අවසන් වුනු කණ්ඩායමක්' -අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

කොටි සංවිධානය සිදු කර ඇති යුධ අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව රජය පවසයි.

කැබිනට් මාධ්‍ය හමුවේ දී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එම අදහස පළ කළේ එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කමිටුවට ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ නොදීමෙන් කොටි සංවිධානය සිදු කර ඇති යුධ අපරාධ පිළිබඳව පරීක්ෂණ මණ්ඩලයට අදහස් දැන ගැනීමට නොහැකි වීම පිළිබඳ සංදේශය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

කොටි සංවිධානය සිදු කළ යුධ අපරාධ පිළිබඳවද සොයා බලන බව එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කමිටුව පවසන්නේ ඔවුන් සාධාරණ පරීක්ෂණයක් සිදු කරන බව පෙන්වීමට බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

'අවසන් වුනු කණ්ඩායමක්'

'අවසන් වුනු කණ්ඩායමක්' පිළිබඳ පරීක්ෂණ පවත්වා කිසිදු ප්‍රයෝජනයක් නැති බවද අමාත්‍යවරයා පැවසීය.

පරීක්ෂණ කමිටුව ශ්‍රී ලංකාවට පැමිණීමට ඉඩ ලබා නොදුන්නත් ශ්‍රී ලංකාවේ සාක්ෂිකරුවන්ට වෙනත් රටකට ගොස් හෝ තාක්ෂණික සහයෙන් නිදහසේ සාක්ෂි ලබා දීමට ඇති හැකියාව පිළිබඳ සංදේශය මෙහි දී අමාත්‍යවරයාගෙන් විමසීමක් කළේය.

'ස්කයිප් හරහා හෝ වෙනත් තාක්ෂණික මෙවලම් හරහා මේ දේ කරන්න උත්සාහ කරනවා කියන කතාව තියෙනවා, සාක්ෂි දෙනවා කියලත් යම් අය කියනවා, ඊට පස්සේ තමයි බලන්න ඕන කොයි ආකාරයෙන්ද අපි මේකට මුහුණ දෙන්නේ කියලා' අමාත්‍යවරයා පැවසීය.

නීතිමය පියවර

මෙම පරීක්ෂණයට සාක්ෂි දෙන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවට පළ වන මත පිළිබඳ විමසීමේ දී අමාත්‍යවරයා පැවසුවේ ඒ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

දෙමළ ජාතික සංවිධානය ඉල්ලා සිටින පරිදි ජාතික ප්‍රශ්නය පිළිබඳ ඔවුන් සමග රාජ්‍ය සාකච්ඡා පවත්වා එකඟතාවකට පැමිණ ඉන් පසු තේරීම් කාරක සභාවකට මෙම ප්‍රශ්නය යොමු කළ නොහැක්කේ ඇයි දැයි මෙහිදී මාධ්‍යවේදියෙක් අමාත්‍යවරයාගෙන් විමසුවේය.

දෙමළ ජාතික සංවිධානය දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා නොවන අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ පක්ෂ ඇති නිසා ඔවුන් සමගද සාකච්ඡා කළ යුතු බවයි අමාත්‍යවරයා පවසන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර