පොලිසියට කැඳවීම ප්‍රමාණවත් නෑ - නීතිඥ සංගමය

4 ජූලි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 17:52 GMT

ජාතිවාදය සහ ආගම්වාදය උසි ගන්වමින් අලුත්ගම ගැටුම්වලට අනුබල දුන් බවට චෝදනා ලබා සිටින පුද්ගලයන් පොලිසියට කැඳවා ප්‍රකාශයක් සටහන් කර ගැනීම සහ එවැනි වැරදිවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම අතර ප්‍රබල වෙනසක් පවතින බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ උපුල් ජයසූරීය ඒ බව කියා සිටියේ, බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් පසුගියදා පොලිසිය ප්‍රශ්න කරනු ලැබීම පොලිස් පරීක්ෂණ නිසි පරිදි පැවැත්වෙන බවට ඉඟි කෙරෙන්නක් නොවේදැයි සංදේශය කළ විමසීමකට පිළිතුරු දෙමින්.

Image caption 'රස පරීක්ෂකවරයා කැඳවා පරීක්ෂණ පැවැත්වීමට පොලිසිය කටයුතු කොට නැහැ'

"ප්‍රශ්න කිරීමයි, ක්‍රියාමාර්ගයක් ගැනීමයි සම්පූර්ණයෙන්ම දෙකක්. මාධ්‍යයේ තියෙනව ඔය කරපු ප්‍රකාශයන් මොනවාද කියන එක," යනුවෙන් ඔහු සඳහන් කළේය.

පොලිස් පරීක්ෂණ සම්බන්ධයෙන් කිසිසේත්ම සෑහීමකට පත් විය නොහැකි බවයි, සභාපතිවරයා සංදේශයට කියා සිටියේ. ගැටුම් සම්බන්ධයෙන් පොලිසිය නිසි පියවර නොගන්නේ නම් පොලිසියට සහ ගැටුම්වලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව පියවර ගැනීමේ බලය නීතිපතිවරයා සතුව පවතින බව නීතිඥ උපුල් ජයසූරිය අවධාරණය කළේය.

'බලය තියෙන්නේ නීතිපතිට'

"ඒ කරයි කියන ප්‍රකාශ තුල ජාතීන් අතර අසමගිතාවයක් නැත්නම් ආගම් අතර අසමගිතාවයක් ඇතිවෙලා තියනවද නැද්ද කියන එක තීරණය කළ යුත්තේ නීතිපතිවරයා. පොලිසියේ මහත්තුරු නෙවෙයි. ඒ පිළිබඳව පොලිසියට නියෝග දීමේ බලය නීතිපතිවරයාට හිමි වෙලා තියෙනව. අපි බලාපොරොත්තු වෙනවා අද හෝ හෙට, ඔහු ඒ තීරණය ගනීවි කියල," යනුවෙන්ද ඔහු පැවසීය.

Image copyright BASL

මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන සහ නිවාස ගිනි තබද්දී පොලිස් විශේෂ කාර්ය බලකායේ 150 කට ආසන්න පිරිසක් ඒ සමීපයේම සිටියත් එය වැළැක්වීමට කටයුතු නොකළ බව නීතිඥ සංගම් නියෝජිත පිරිසේ නිරීක්ෂණයයි.

ගැටුම් හටගත් ප්‍රදේශවලට රස පරීක්ෂකවරයා කැඳවා පරීක්ෂණ පැවැත්වීමට පොලිසිය කටයුතු කොට නැති බව ඉරිදා සිය නිරීක්ෂණ චාරිකාවේදී අනාවරණය වූ බව සඳහන් කළ නීතිවේදී උපුල් ජයසූරීය, බ්‍රහස්පතින්දා තමන් අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලූ අධිකරණය, රස පරීක්ෂකවරයා කැඳවන මෙන් පොලිසියට නියෝග කළ බව කියා සිටියේය.

ගැටුමේදී මිය ගිය එක් පුද්ගලයෙකුගේ මරණ පරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් ඥාතීන් සැක පහල කිරීමෙන් අනතුරුව එම මළසිරුර යලි ගොඩ ගැනීම හැකියාවක් පවතින බවත් ඔහු සංදේශයට කියා සිටියේය.