රමෆෝසා එන්නේ 'දෙමළ ප්‍රශ්න සාකච්ඡා කිරීමට නොවේ'

Image copyright Reuters
Image caption උප ජනාධිපති රාමෆෝසා ශ්‍රී ලංකාව පිළිබඳ ජනාධිපති සූමාගේ විශේෂ නියෝජිතයාය

දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති සිරිල් රමෆෝසා ගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ ද්විපාර්ශ්වික සම්බන්ධතා තර කිරීම පමණක් බව නියෝජ්‍ය විදේශ ඇමති නියෝමාල් පෙරේරා අවධාරණය කරයි.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුවේ දූත පිරිසක් සහ ආර් සම්බන්ධන් මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් දෙමළ ජාතික සන්ධානයේ දූත පිරිසක් වෙන වෙනම දකුණු අප්‍රිකාවේ සංචාරය කොට දකුණු අප්‍රිකානු බලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වූහ.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාව සම්බන්ධ ජනාධිපති සූමා ගේ විශේෂ නියෝජිතයා වශයෙන් මේ වසර මුලදී සිරිල් රමෆෝසා නම් කරනු ලැබිණ.

දෙදින සංචාරයක් සඳහා ඔහු සඳුදා ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිතයි. ඉන් අනතුරුව ඔහු ඉන්දියාවේ ද සංචාරය කිරීමට නියමිතව තිබුණත් පසුව එය අවලංගු කොට ඇති බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

ඉන්දීය සංචාරය

පසුගිය නොවැම්බරයේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වූ අවස්ථාවේ ප්‍රකාශයක් කළ ජනාධිපති ජේකබ් සූමා, ජාතික ගැටලුවට විසඳුමක් සෙවීම් වස් දකුණු අප්‍රිකාවේ අත්දැකීම් බෙදා හදා ගැනීමට සූදානම් බව සඳහන් කළේය.

Image caption 'පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති ධුරයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම බලාපොරොත්තුව'

එහෙත් ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවට විසඳුම ශ්‍රී ලංකාව තුලින්ම මතුවිය යුත්තක් බව බීබීසී සංදේශය කළ විමසීමකදී සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා, ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවට විසඳුම් සෙවීම සහ රමෆෝසා ගේ සංචාරය අතර කිසිදු සම්බන්ධතාවයක් නැති බව කියා සිටියේය.

ජාතික ගැටලුවට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් විදේශීය රටවල සහාය පැතීමට දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය නම් ඒ පිළිබඳව සිය විරෝධයක් නැතත්, ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර සම්බන්ධතා ශක්තිමත් කිරීම මගින් "දෙමළ, සිංහල, මුස්ලිම් ජනතාවගේ ආර්ථික සහ සාමාජයීය ගැටළු විසඳීම" මෙම චාරිකාවේ අරමුණ බව ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවට විසඳුම් සෙවීම පිණිස දකුණු අප්‍රිකාව ඇතුළු විදේශීය රටවල සහාය පැතීම අමාත්‍ය විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ දැඩි විවේචනයට ලක් වී තිබේ.

මේ අතර විදේශ අමාත්‍ය ජීඑල් පීරිස් ලබන සතියේ ඉන්දියාවේ සංචාරය කිරීමේ අරමුණද ද්විපාර්ශ්වික සම්බන්ධතා තර කිරීම බව පවසන නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සංශෝධනය කිරීමේ හෝ අහෝසි කිරීමේ කිසිදු අරමුණක් ආණ්ඩුවට නැති බවද සංදේශයට පැවසීය.

ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාදාමය පිළිබඳව යූඑස්ඒඩ් ආයතනයේ මැදිහත්වීමෙන් පැවැත්වීමට නියමිතව තිබුණු වැඩසටහන්වලට විරෝධය පළ කිරීම පිළිබඳව විමසු අවස්ථාවේ නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ රටේ අභ්‍යන්තර දේශපාලනයට ඇඟිලි ගැසීමට කිසිදු රටකට අයිතියක් නැති බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර