'ගොතපු නඩුවක් '- කුරාම් ෂයික් විත්තිය

Image caption ප්‍රධාන විත්තිකරු තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් විදානපතිරණ

බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් ඝාතන නඩුවට අදාලව විත්තිකරුවන් ගේ ප්‍රකාශ සටහන් කර ගැනීම අවසන් වී තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිනී වල්ගම ඉදිරියේ පැවති මෙම නඩු විභාගයේ දී විත්තිකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීම සිදු විය.

ප්‍රධාන විත්තිකරු තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ අධිකරණය හමුවේ කියා සිටියේ තමන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

‘මේ සිද්ධියට මගේ කිසිම සම්බන්ධයක් නැහැ. මගේ දේශපාලන ගමන අඩාල කිරීම සඳහා මාව උවමනාවෙන් මේ නඩුවට පටලවා තිබෙන බව කිව යුතුයි. මට එරෙහිව ඉදිරිපත් වූ සාක්කි පවා අසත්‍ය ලෙස ගොතා තිබෙනවා.’ යනුවෙන් ප්‍රකාශ කළ විත්තිකාර සම්පත් විදානපතිරණ අදාළ චෝදනාවලින් තමන් නිදහස් කරන ලෙසයි අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

'ගොතපු නඩුවක්'

සෙසු විත්තිකරුවන් පස් දෙනාත් අධිකරණය හමුවේ කියා සිටියේ තමන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

ප්‍රකාශ සටහන් කර ගැනීම අවසන් කල අධිකරණය, පැමිණිල්ල මෙහෙයවන රජයේ නීතිඥයාගේ දේශනය හෙට, අගහරුවාදා ඉදිරිපත් කරන මෙන් නියම කළේය.

Image caption වික්ටෝරියා අලෙක්සන්ද්‍රවුනා කාචේවා

විත්තියේ දේශන සටහන් කර ගැනීමෙන් අනතුරුව නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන දිනය විනිසුරුවරිය විසින් දැනුම් දෙනු ලැබීමට නියමිතයි.

සාදයේ අපරාධය

දෙදහස් එකොළහ වසරේ දෙසැම්බර් විසිහතර වන දින තංගල්ල ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක පැවති නත්තල් සාදයක දී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් මරා දමා, ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය වික්ටෝරියා අලෙක්සන්ද්‍රවුනා කාචේවා දුෂණය කළ බවට චෝදනා කරමින් විත්තිකරුවන් හය දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරනු ලැබීය.

ප්‍රධාන විත්තිකරු තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්ප විදානපතිරණ නඩුව අවසන් වන තෙක් රිමාන්ඩ් භාරයට පත් කර ඇති අතර සෙසු විත්තිකරුවන් ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර