සංක්‍රමණිකයන් 27 දෙනෙකු ඇප මත නිදහස්

Image copyright Reuters
Image caption ඕස්ට්‍රේලියානු නාවික හමුදාව සරණාගතයන් රැගත් බෝට්ටුවක් වටලති.

ඕස්ට්‍රේලියාවේ සිට ආපසු ශ්‍රී ලංකාවට හරවා එවන ලද 41 දෙනාගෙන් 27 දෙනෙක් අධිකරණ විසින් ඇප මත නිදහස් කෙරිණ.

ඊයේ ශ්‍රී ලංකාවට පැමිණි මේ පිරිස අද, අඟහරුවාදා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූහ.

රිමාන්ඩ්

ඉතිර පස් දෙනා ජුලි 14 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයට පත් කරණ ලෙස අධිකරණය විසින් නියෝග කෙරිණ.

අධිකරණය විසින්, 27 දෙනකු රුපියල් 5000 ක සහ ලක්ෂයක ශරීර ඇප මත මුදා හරිනු ලැබූ අතර බාල වයස්කාර නව දෙනෙකු කොන්දේසි නොමැතිව මුදා හැර තිබේ.

මේ පිරිස අතර කාන්තාවන් හතර දෙනකුද සිටි අතර එක් කාන්තාවක් කුඩා දරුවකු වඩා ගෙන යනු දක්නට ලැබිණ.

පැමිණිලි

ඕස්ට්‍රේලියානු රේගු නිලධාරීන් තමන් දේශපාලන රැකවරණ පතන්නකු ලෙස සලකා ක්‍රියා නොකළ බව ඒ එෆ් පී පුවත් සේවයට පැවසූ දමිත් කල්දේරා කියා සිටියේ තමන් මේ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කරන බවයි.

“ඔවුන් කිසිම ප්‍රශ්නයක් ඇහුවේ නැහැ. ආපසු යන්න කියන එක විතරයි ඔවුන් කිව්වේ,”ඔහු පැවසුවේය.

මේ පිරිසට ඉතා නරක ලෙස ඔවුන් සැලකූ බවයි ඔහු පැවසුවේ.

ඔවුන්ට කල් ඉකුත් වූ ආහාර ලබා දුන් බවත් බෙහෙත් ද්‍රව්‍ය ලබා දීම ප්‍රතික්ෂේප කළ බවත් ඔහු සඳහන් කළේය

“කාන්තාවන්ට උණ හැදිලා තිබුණා . ඔවුන් දුන්නේ වතුර විතරයි. අපි බඩගින්නේ පීඩා වින්දා. කොහෙද ඔස්ට්‍රේලියාවේ මානව හිමිකම් තියෙන්නේ?,”ඔහු ප්‍රශ්න කළේය.

ජාත්‍යන්තර නීතිය

දේශපාලන රැකවරණ පතා පැමිණි ශ්‍රී ලාංකිකයන් 41 දෙනා, ඔවුන්ගේ ඉල්ලීම් සලකා නොබලා ආපසු හරවා යැවීම පිළිබඳව තමන් බලවත්සේ කම්පාවට පත්වූ බව සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර නීතියට අනුව සෑම කෙනෙකුගේම ඉල්ලීම් වෙන වෙනම හොඳින් සලකා බැලිය යුතු බවයි නිවේදනයක් නිකුත් කරමින් සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේ.

නිසි ආරක්ෂක විධි විධාන අනුගමනය නොකොට, එම පුද්ගලයන්ගේ ආරක්ෂාව පිලිබඳව සහතිකයක් නොමැතිව, ඔවුන් ගැඹුරු මුහුදේ සිටියදී මෙය හදිසියේ කළ හැකි හෝ කළ යුතු දෙයක් නොවන බවයි එම නිවේදනයේ තවදුරටත් සඳහන් වෙන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර