'සමාවට නීතියෙන් ඉඩක් නැහැ'

Image caption ලේකම් අබ්දුල් රෆික්දින්ට එරෙහිව පැමිණිලි කර ඇත්තේ ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ

බුදුන් වහන්සේට අපහාස කිරීමේ චෝදනා ලබා සිටින තව්හීද් ජමාද් සංවිධානයේ ලේකම්වරයාට එරෙහි නඩුව සමාව ගැනීම හරහා සමථයකට පත් කිරීමට නීතියෙන් හැකියාවක් නොමැති බව පැමිණිලි පාර්ශවයේ නීතිවේදීහු පවසති.

ශ්‍රී ලංකා තව්හීද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රෆික්දින්ට ඇප ලබාදීමේ තීරණය ද නීතියට පටහැණි බව පැමිණිලිකාර භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීහු කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවේ පැමිණිලි කළහ.

එහෙත් මිට අදාළව මහේස්ත්‍රාත්වරයා කිසිදු නියෝගයක් නොකළ බවත් එම තීරණය පිළිබඳව සෑහීමකට පත් නොවන්නේ නම් ඉහල අධිකරණයකට කරුණු දක්වන මෙන් දැනුම් දුන් බවත් පැමිණිලි පාර්ශවයේ නීතිවේදී හේමන්ත වර්ණකුලසුරිය ප්‍රකාශ කළේය.

දැන හෝ නොදැන

Image caption ශ්‍රී ලංකා තව්හීද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රෆික්දින්

‘2007 වසරේ පාර්ලි‌‌මේන්තුව මගින් සම්මත කළ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ පනත යටතේ ආගම්වලට අපහාස කිරීමේ චෝදනා වලට ඇප දීමට මහේස්ත්‍රාත් අධිකරණයකට බලයක් නැහැ. එම බලය තිබෙන්නේ මහාධිකරණයකට පමණයි. පොලිසිය දැන හෝ නොදැන මෙම වරද කර තිබෙනවා. ඒ වගේම මෙම නඩුව සමාව ගෙන සමතයකට පත් කිරීමටද නීතියෙන් ඉඩක් නැහැ.’ නීතිවේදි හේමන්ත වර්ණකුලසූරිය පැවසීය.

විත්ති පාර්ශවයේ නීතිවේදීන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ තම සේවාදායකයා අතින් සිදු වූ වරද පිළිබඳව මහ නාහිමිවරු බැහැ දැක සමාව ඉල්ලා සිටීමට සුදානම් වුවද පසුගිය දිනවල අලුත්ගම ප්‍රදේශයේ ඇතිවූ ගැටුම් හේතුවෙන් සැකකරු තුළ යම් චකිතයක් ඇති වී තිබෙන බවයි.

ජිහාඩ් ලේබලය

කෙසේ වෙතත් ඕනෑම නඩු විභාගයකට මුහුණ දීමට තමන් සුදානම් බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා තව්හීද් ජමාද් සංවිධානයේ ලේකම් අබ්දුල් රෆික්දින් තවදුරටත් කියා සිටියේ තම සංවිධානයට ජිහාඩ් ලේබලය ඇලවීම පිළිබඳව තමන් විරුද්ධ වන බවයි.

පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙම කරුණට අදාළ පරීක්ෂණ අවසන් කිරීම සදහා කල් ලබා දෙන ලෙසයි.

ඒ අනුව පැමිණිල්ල සැප්තැම්බර් මස 04 වනදාට කල් දැමූ අධිකරණය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් පොලිසියට නියම කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර