ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ශ්‍රී ලංකාවට ඕස්ට්‍රේලියානු බෝට්ටු දෙකක්

ඔස්ට්‍රේලියාව විසින් ශ්‍රී ලංකාවට නාවික බෝට්ටු දෙකක් ප්‍රදානය කරනු ලැබුණි.

අද,බදාදා ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත එම නාවික බෝට්ටු දෙක ප්‍රදානය කරන ලද්දේ ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණ සහ දේශ සීමා ආරක්ෂාව භාර ඇමති ස්කොට් මොරිසන් විසිනි.

දින දෙකක නිල සංචාරයක් ආරම්භ කරමින් අද බදාදා ශ්‍රී ලංකාවට ලඟා වූ ඕස්ට්‍රේලියානු ඇමතිවරයා බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොලේදී පිළි ගන්නා ලද්දේ විදේශ කටයුතු භාර නියෝජ්‍ය ඇමති නියෝමාල් පෙරේරා විසිනි.

ඉහත කී බෝට්ටු දෙක ප්‍රදානය කරනු ලැබුණේ ශ්‍රී ලාංකික සරණාගතයන් කණ්ඩායමක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු බලධාරීන් කටයුතු කරමින් ඇති ආකාරය සම්බන්ධයෙන් විවාදයක් මතු ව පවතින අතරයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් කෙරෙන නව බෝට්ටු දෙක භාර ගැනීමේ අවස්ථාවට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා ඇතුළු ආණ්ඩුවේ නියෝජිතයෝ සහභාගී වූහ.

ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරුණ බෝට්ටු දෙක නම් කරනු ලැබ තිබෙන්නේ 'රත්නදීප'සහ 'මිහිකත'යනුවෙනි.