නියෝගයේ අරමුණ 'සත්‍යය සැඟවීම'

Image caption 'වද හිංසා පිළිබඳව නීතියක් තියෙනවා මේ රටේ. 2009 න් පස්සේ එක නඩුවක් දාන්න නීතිපතිට හයිය නැහැ'

රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සමාජ කණ්ඩායම්වල සියලු මාධ්‍ය ක්‍රියාකාරකම් තහනම් කරමින් ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලැබ ඇති නියෝගයේ අරමුණ ජනතාවට සැබෑ තොරතුරු දැන ගැනීම වැළැක්වීම බව ක්‍රියාධරයෝ පවසති.

ඔවුන් ඒ බව කියා සිටියේ, සිවිල් සමාජ කණ්ඩායම් නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් කොළඹදී කැඳවා තිබුණු මාධ්‍ය හමුවක් අමතමින්.

ශ්‍රී ලංකාවේ සිවිල් සමාජ කණ්ඩායම් සහ රාජ්‍ය නොවන සංවිධාන සිය විෂය පථයට ඔබ්බෙන් කටයුතු කරන්නේ නම්, රටේ නීතිය ක්‍රියාත්මක නොවන තත්වයක් පැවතීම එයට හේතුව බව සිවිල් සමාජ සාමූහිකයේ බ්‍රිටෝ ප්‍රනාන්දු මාධ්‍ය හමුවේදී සඳහන් කළේය.

"ආණ්ඩුව දිගින් දිගටම නීතියට පිටින් කළ ඔලමොට්ටල හා කුපාඩි වැඩ හින්දයි අපට සීමාවලින් එහා යනව නම් යන්න වෙලා තියෙන්නේ," යනුවෙන්ද බ්‍රිටෝ ප්‍රනාන්දු පැවසීය.

'හොඳම සාක්ෂිය'

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සිය විෂය පථය අභිබවා ගොස් නීති විරෝධීව කටයුතු කරන ආකාරය පිළිබඳව කතාකිරීම, සිවිල් සමාජ කණ්ඩායම්වලට මෙවන් නියෝග පැනවීමට හේතුව බවද ඔහු පැවසීය.

"වද හිංසා පිළිබඳව නීතියක් තියෙනවා මේ රටේ. 2009 න් පස්සේ එක නඩුවක් දාන්න නීතිපතිට හයිය නැහැ. එතකොට රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් කොහොමද විෂය පථය තුල වැඩකරන්නේ? ආයුධ පෙන්නන්න ගිහිල්ල දැන් 125 දෙනෙක් විතර මරලා තියනවා."

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් සමාජ කණ්ඩායම් ක්‍රියා කරන්නේ ශ්‍රී ලංකාවේ රජය ජාත්‍යන්තරව අත්සන් තැබූ ප්‍රඥප්තිවල විෂය පථයන්ට අනුකූලව බව, සිවිල් සමාජ සාමූහිකයේ නිමල්කා ප්‍රනාන්දු පෙන්වා දුන්නාය.

"ගෝඨාභය රාජපක්ෂට ඕන වුණාම නීතියට පිටින් ගිහිල්ලා අනවසර ඉදිකිරීම් කඩනවා වගේ ඒ මතවාදය උඩ ඉඳන් කියනවා මේවා නීති විරෝධීයි කියලා. නමුත් අපේ ක්‍රියාකාරීත්වය එක්සත් ජාතීන්ගේ සංවිධානයත් රටේ ව්‍යවස්ථාවත් පදනම් කරගෙන ක්‍රියාවට නඟන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයක්,"යනුවෙන්ද ඇය පැවසීය.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි අදහස් දක්වමින්: "මේ ලියුමම ඇති අපේ අදහස් නොමැතිව ලෝකේ ඕනෑම කෙනෙකුට මේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරගෙන යන ගමන පෙන්වන්න," යනුවෙන් පැවසීය.

'උල්ලංඝනය කරනවා'

බටහිර තානාපති කාර්යාලවලින් මුදල් ලබා ගෙන රාජ්‍ය නොවන සංවිධාන ආණ්ඩු පෙරලීමේ උත්සාහයක නියැලෙන බවට ආණ්ඩුව කරන චෝදනා පිළිබඳව මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේ එයට පිළිතුරු දුන් නීතිවේදී ජේසී වැලිඅමුණ: "ආණ්ඩුව නොයෙක් ගෝනි බිල්ලෝ මවනවා. ඔය එක බිල්ලෙක්. මොකද රජයේ මතයට විරුද්ධ මතයක් දරන අයට යම්කිසි මඩක් ගහලා වෙනස් අතකට අවධානය යොමුකරනවා," යනුවෙන් සඳහන් කළේය.

මේ අතර බදාදා නිවේදනයක් නිකුත් කරන ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික සාරධර්ම ආරක්ෂා කිරීමේ වැදගත් භූමිකාවක් ඉටුකරන්නා වූ සිවිල් සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධානවලට නිදහසේ කටයුතු කිරීමට ඉඩ දෙන ලෙස ශ්‍රී ලංකා රජයට බලකර සිටියි.

ආරක්ෂක අමාත්‍යංශයේ චක්‍රලේඛය පැහැදිලි ලෙසම ශ්‍රී ලංකාවේ සිවිල් සමාජයට එල්ල කරන ලද මරු පහරක් බව එක්සත් ජාතික පක්ෂයද (එජාප) පවසයි.

රටේ මූලික නීතිය මගින් පුරවැසියන්ට තහවුරු කර ඇති ප්‍රකාශනයේ සහ සමාගමයේ නිදහසට එම චක්‍රලේඛය මගින් තහංචි පනවා ඇති බවයි, එජාපය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙන්නේ.

මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශයට බලයක් නැති බැවින් එම නියෝගය තමන් උල්ලංඝණය කරන බව නීතිවේදී එකමුතුවේ සම කැඳවුම්කරු නීතිඥ ලාල් විජේනායක සංදේශය කළ විමසීමකදී කියා සිටියේය.

එය උල්ලංඝනය කරන මෙන් අනෙක් සියලු සිවිල් සංවිධානවලින්ද තමන් ඉල්ලීමක් කරන බව පැවසූ නීතිඥ විජේනායක, ඒ හේතුවෙන් අත් අඩංගුවට පත් වන්නේ නම් එයට එරෙහිව මූලික අයිතිවාසිකම් උල්ල්නාඥානය කිරීම යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමට තමන් පසුබට නොවන බවද පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර